කලාපීය ත්‍රස්තවාදය සාක් නායක අවධානයට - රනිල්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කලාපීය ත්‍රස්තවාදය සාක් නායක අවධානයට - රනිල්

සාක් කලාපීය රටවල දේශ සීමා හරහා සිදු වන ත්‍රස්තවාදයට වැට බඳින්නේ කෙසේ දැයි යන්න පිළිබඳ කලාපීය නායකයන් අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා ඒ බව කියා සිටියේ සිය ඉන්දීය සංචාරය අතරතුර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් බදාදා නව දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී පැවැත්විණ.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඔබ්බට ගිය සුවිශේෂී මිත්‍රත්වයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති බව ඉන්දීය අගමැතිවරයා එහි දී කියා සිටි බවයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

දෙරටේ විවිධ ක්ෂේත්‍රයන් අතර සම්බන්ධතා පුළුල් කිරීමට එම මිත්‍රත්වය හේතු සාධක වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී කියා සිටි බව එම නිවේදනයේ සඳහන්.

'කලාපීය සාමය'

ත්‍රස්තවාදය දුරු කොට සාමය ස්ථාපිත කිරීමේ ව්‍යායාමයට සාක් සංවිධානයේ සියළුම රටවල් දායක කර ගැනීමේ අවශ්‍යතාව ද දෙරටේ නායකයන් විසින් අවධාරණය කොට තිබේ.

කලාපයේ තිරසර සංවර්ධනය සහ සාමය වෙනුවෙන් දෙපාර්ශවය අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් හා උපාය මාර්ග සම්බන්ධවද අගමැතිවරු කරුණු දැක්වූ බවයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.

වර්තමානයේ සාක් සංවිධානය මුහුණ දී ඇති අභියෝගාත්මක අර්බුදයෙන් ගොඩ ඒම පිළිබඳත් ශ්‍රී ලංකා අගමැතිවරයාගේ සහ ඉන්දීය අගමැතිවරයාගේ අවධානය යොමු වූ බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් අතර බදාදා පෙරවරුවේ නව දිල්ලි නුවරදී හමුවක් පැවැත්විණ.

ධීවර ගැටළු

දෙරටේ මිත්‍රත්වය තවදුරටත් තහවුරු කෙරෙන අනාගතයක් වෙනුවෙන් ඉන්දීය රජය නිරන්තරයෙන් කැප වන බව ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් එහිදී අවධාරණය කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.

ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුවට තිරසාර විසඳුමක් ලබා දීමේ අවශ්‍යතාව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය විසින් එහිදී පෙන්වා දුන් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ධීවර ගැටළුවට තිරසාර විසඳුමක් ලබා දීම සඳහා දෙරටේ විදේශ ඇමතිවරුන්ගේ සහ ධීවර කටයුතු පිළිබඳ ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉහළ පෙළ සාකච්ඡාවක් ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට එහිදී තීරණය කෙරුණු බවත් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කොංග්‍රස් නායකයන්

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂ නායිකා ශ්‍රීමතී සෝනියා ගාන්ධි අතර පැවති සාකච්ඡාවක් පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ එකමුතුවෙන් සැදුම්ලත් ජාතික ආණ්ඩුවට දෙමළ ජාතික සංධානය සහ වෙනත් සංවිධානවල එකඟත්වය ඇතිව කටයුතු කළ හැකි පරිසරයක් උදා වී ඇති බව එම අවස්ථාවට එක් වී සිටි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං පැවැසූ බවයි අගමැති කාර්යාලය නිවේදනය කළේ.

එම තත්වය මෑත අතීතයේ ශ්‍රී ලංකාව ලැබූ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක් ලෙස හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං විසින් හඳුන්වනු ලැබූ බවත් නිවේදනයේ දැක්වේ.