කතරගම දේවාලයේදී අලි පැටියෙක් අත්අඩංගුවට

  • 2016 ඔක්තෝබර් 7
Image caption අලි පැටවා පින්නවල අලි අනාථාගාරයට රැගෙන යන බව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය

වනජීවී දෙපාර්තමේන්තුවේ වැටලීම් ඒකකයේ නිලධාරින් හා රහස් පොලිසිය එකාබද්ධව කළ වැටලීමකදී කතරගම මහා දේවාලයේ සිටියදී ''භානු" නමැති අලි පැටවා අත්අඩංගුවට ගත් බව බලධාරීහු පවසති.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ගිහාන් පිලපිටියගේ නියෝගයක් අනුවයි, වයස අවුරුදු 12 ක් පමණ වන අලි පැටවා එසේ අත්අඩංගුවට ගනු ලැබුණේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපත්‍ර අංක 200 යටතේ මාතර පාලටුව මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචි ඩිල්සාන් වික්‍රමරත්න ගුණසේකර යන අයගේ නමට එම අලි පැටවා ලියාපදිංචි කර තිබේ. එහෙත් එම අලි පැටවා ඌව පළාතේ ප්‍රධාන දේශපාලනඥයකු භාරයේ සිටි බවයි, වාර්තාකරුවන් පවසන්නේ.

Image caption භාණු නමැති මෙම අලි පැටවා ඌව පළාතේ ප්‍රධාන දේශපාලනඥයෙකු බාරයේ සිටි බවයි පැවසෙන්නේ

වනජීවී දෙපාර්තමේන්තුවේ හිලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛන ව්‍යාජ ලෙසින් වෙනස් කර ඇති බවට හිටපු වනජීවී අමාත්‍ය වරයෙකු වූ වසන්ත සේනානායක විසින් පසුගිය වසරේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුවන අධිකරණ පරීක්ෂණයට අදාලවයි, මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

එම පැමිණිල්ලට අදාලව සිදුකරන ලද විමර්ශනයේදී සැක සහිත අලි පැටවුන් 55 කට අයත් ලේඛන විමර්ශනයට ලක්වූ අතර ඉන් 40 ක් බැලූ බැල්මට සැක සහිත ලෙස සකසා තිබූ ලේඛන යයි අනාවරණය වූ බව වනජීවී නිලධාරීහු පවසති.

Image caption ගංගා නමැති අලි පැටවා

කොළඹ ප්‍රසිද්ධ විහාරස්ථානයක රඳවා ගෙන සිටින බලපත්‍ර අංක 198 දරන ගංගා නැමති ඇත් පැටවා ද මෙම මස 13 වැනි දිනට පෙර අත්අඩංගුවට ගන්නා මෙන් අධිකරණය නියෝග කර තිබෙන නමුත් ඉදිරි නඩු දිනයේදී ඇත් පැටවා සම්බන්ධයෙන් අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අලි පැටවාගේ හිමිකරුවන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබේ.

'ගංගා' නමැති මෙම ඇත් පැටවා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර හා ජාතික වශයෙන් පෙත්සම් දස දහසකට අධික ප්‍රමාණයක් ඉදිරිපත්වී ඇති බවත් පරිසර සංවිධාන පෙන්වා දෙයි.