ECTA ගිවිසුම
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ETCA: ස්වාධීන වෘත්තික භීතිය මවන ලද්දක් - එරාන්

  • 2016 ඔක්තෝබර් 8

ETCA ගිවිසුමට අනුව ස්වාධීන වෘත්තීයවේදීන්ට ශ්‍රී ලංකාවට පැමිණ සේවය කිරීමට අවස්ථාව නොලැබෙන බව රාජ්‍ය ව්‍යවසාය හා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න අවධාරණය කරයි.

ස්වාධීන වෘත්තීයවේදීන්ට ශ්‍රී ලංකාවට පැමිණ සේවය කිරීමට අවස්ථාව ලබා නොදෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව මේ වන විටත් ඉන්දීය රජයට දන්වා ඇති බවයි නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ.

ස්වාධීන වෘත්තීයවේදීන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව ලබා නොදෙන්නේ නම් පමණක් ETCA ගිවිසුමට සිය පක්ෂයේ සහාය ලැබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශක මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පසුගියදා කියා සිටියේය.

අමාත්‍ය ඩිලාන් පෙරේරා විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සඳහන් කළේ ETCA ගිවිසුම අත්සන් තැබෙන්නේ ශ්‍රීලනිප සහ එජාපයෙන් සැදුම්ලත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව බවයි.

'කුඩා රටක්, කුඩා වෙළඳපොළක් වශයෙන් මෙවැනි අවස්ථාවක බියට පත් වීම සාමාන්‍යයි. නමුත් අපේ ජීවන මට්ටම ඉහළ නැංවිය හැකි එකම ක්‍රමය අපේ ආර්ථිකය විවෘත කිරීමයි,' නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

'ආර්ථිකය විවෘත කිරීම'

'උදාහරණයක් වශයෙන් අපි මේ පදවන මෝටර් රථ ඉදිරියේදී ක්‍රියාත්මක වන්නේ සූර්ය බලයෙන්. එවිට තෙල් නිෂ්පාදනය කරන රටවලට මොකද වෙන්නේ?,'

'අද කොළඹ වරායට වැදගත් තැනක් හිමි වෙනවා. තවත් අවුරුදු දහයකින් චීනයේ නිෂ්පාදනය වන බඩු භාණ්ඩ දුම්රිය ඔස්සේ යුරෝපයට යවයි. එවිට කොළඹ වාරයේ වැදගත්කම අඩු වෙනවා,'

අනාගතයේ ඇති විය හැකි එවැනි තත්වයන් පිළිබඳ සලකා බලා ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක ගිවිසුම්වලට අත්සන් තැබිය යුතු බවයි නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

ඉන්දියාව හා ශ්‍රී ලංකා ආණ්ඩුව අතර අත්සන් තැබීමට සැලසුම් කෙරෙන ETCA ගිවිසුමට ශ්‍රී ලංකාවේ ඇතැම් වෘත්තිකයන් හා ඇතැම් දේශපාලන පක්ෂ විරෝධය පළ කරති.

'මවපු බියක්'

ඉන්දීය වෘත්තිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් දේශීය වෘත්තිකයන්ගේ රැකියා අවස්ථාවලට බලපෑම් ඇති වනු ඇතැයි ඉහත කී කණ්ඩායම් බිය පළ කර සිටිති.

ඒ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ වෘත්තීයවේදීන් සම්බන්ධයෙන් පවතින බිය මවන ලද්දක් බවයි.

බහුජාතික සමාගම් හා සම්බන්ධ වෘත්තිකයන් වෙනත් රටවල ගොස් සේවයේ නිරත වෙනවා, කොන්ත්‍රාත් පදනම යටතේ උපදේශකයන් වැනි වෘත්තිකයන් වෙනත් රටවලට ගොස් සේවය කරනවා, ඒ වගේම ව්‍යාපාරික වීසා බලපත්‍ර යටතේ වෙනත් රටවලට ගොස් සේවය කරනවා. ඉතින් මේ ක්‍රම තුනම අද සිදු වෙනවා,'

'බිය පවතින්නේ ස්වාධීන වෘත්තීයවේදීන් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාව දැනටමත් කියලා තිබෙනවා ඊට ඉඩ දෙන්නේ නැහැ කියලා.' රාජ්‍ය ව්‍යවසාය හා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න වැඩිදුරටත් කියා සිටියේය.