'රහසේ කුමන්ත්‍රණ නෑ - දෙන ගේම් එළියේ'

'රහසේ කුමන්ත්‍රණ නෑ - දෙන ගේම් එළියේ' Image copyright Getty/ LAKRUWAN WANNIARACHCHI

තමන් ඩාලි පාරේ පිහිටි බෝඩ් ලෑල්ලකට හෝ කාර්යාලයකට යට වන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

'ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සමග හිට ගත්තු මිනිස්සු අපි. අද ඒ සියලු ප්‍රතිපත්ති පැත්තකට දාලා.' හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් රත්නපුර නගරයේ සංවිධානය කරන ලද රැළිය අමතමින්.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති හා එකඟ වීමට නොහැකි වූ බැවින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඇතුළු පිරිසක් ශ්‍රීලනිපය ආරම්භ කළ බවත් අද එය එක්සත් ජාතික පක්ෂය පාමුල තබා ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සඳහන් කළේය.

'මේ පක්ෂය හැදුවේ එක්සත් ජාතික පක්ෂයට, ඒ පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව,' ඔහු කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රට බෙදීමේ උත්සාහයක නිරත වී සිටින බැවින් ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පෙළ ගැසී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

සියලු පක්ෂ සහ පෙරමුණු ඒකාබද්ධ කර ගනිමින් ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව පෙළ ගැසෙන බවත් 'ඒකාබද්ධ විපක්ෂය නුදුරේ දීම ඒකාබද්ධ ආණ්ඩුවක්' බවට පත් වන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

Image copyright Pavithra Wanniarachchi/FB
Image caption "අරගලයට පණ පොවන නව ජනතා බලවේගය" මැයෙන් රත්නපුර නගරයේ පැවති ජන රැළිය

'රහසේ කුමන්ත්‍රණය නොකොට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ආණ්ඩු බලය ලබා ගන්නා' බවයි ඔහු කියා සිටියේ.

'ඇමතිවරු පස්සෙත් සීඅයිඩිය දානවා, මන්ත්‍රීවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරලා. අපේ ගේ ඉස්සරහත් ඒකකයක් දාලා ගෙදරට යන එන අය ගැන ලැයිස්තු ලියනවා,' ඔහු සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් වන බවට ඇතැමුන් ප්‍රකාශ කළත් එවැන්නක් සිදු නොවන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

'ගිලෙන නැවට පනින්නේ නැහැ. ගිලෙන නැවෙන් තමයි පනින්නේ' ඔහු පැවසීය.

"අරගලයට පණ පොවන නව ජනතා බලවේගය" මැයෙන් පැවති ජන රැළියට බැසිල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර