'කන්තලේ රෝහලේ ඖෂධ ගබඩාවක් නැහැ'

කන්තලේ රෝහලේ ඖෂධ ගබඩාවක් නැහැ Image copyright Health.gov.lk

කන්තලේ මූලික රෝහලෙන් නිකුත් කරනු ලබන ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැට‍ළු පැන නැගී ඇති බව රෝහල් බලධාරීහු පවසති.

ප්‍රවාහනය කිරීමේදී සහ ගබඩා කිරීමේදී ඖෂධවල ප්‍රමිතියට හානි වන බව ප්‍රධාන ඖෂධවේදී එම් ප්‍රේමසිරි කියා සිටියේ මහජන නියෝජිතයන් පිරිසක් සමඟ කන්තලේ මූලික රෝහලේ පැවති සාකච්ඡාවකදී.

රෝහල තුළ නිසි පහසුකම් සහිත ඖෂධ ගබඩාවක් නොමැති බවයි ප්‍රධාන ඖෂධවේදී එම් ප්‍රේමසිරි පවසන්නේ.

එසේම ඖෂධ ප්‍රවාහනය සඳහා සෞඛ්‍යය අමාත්‍යංශය විසින් ලබා දී ඇති ලොරි රථය නිතරම කාර්මික දෝෂවලට ලක් වන බවත් එහි ශීතකරණ පහසුකම් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ද ඉහත කී සාකච්ඡාවට එක් වී සිටියේය.

Image caption පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සෞඛ්‍යය බලධාරීන් සමග

සෞඛ්‍යය අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයකු සහ ඉහළ පෙළ නිලධාරීන් කීපදෙනකු සමග පැමිණ සිටි මන්ත්‍රී චතුර සේනාරත්න කන්තලේ මූලික රෝහලේ පවතින අඩුපාඩු සහ සේවක ගැට‍ළු විසඳීමට මැදිහත් වන බවට ප්‍රතිඥා දුන් බව ආර්.ජී ධර්මදාස බීබීසී සිංහල සේවයට වාර්තා කරයි.

සිය දිස්ත්‍රික්කයෙන් පිටත පිහිටි රජයේ රෝහලක සංචාරයක නිරත වන්නේ තම පියා යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් දැයි ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී සේවා සංගමයේ සභාපති වශයෙන් තමා ඉහත කී සාකච්ඡාවට එක් වූ බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී සේවා සංගම් වෘත්තීය සමිතියේ අනුබද්ධ ශාඛාවක් පිහිටුවීම සහ එහි සේවක සංගමය විසින් සංවිධානය කරන ලද සරස්වතී පූජාවකට සහභාගී වනු පිණිස කන්තලේ සංචාරයක නිරත වූ බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්