බුදු දහම ආරක්ෂා කරනවා - අගමැතිගෙන් යළිත් ප්‍රතිඥාවක්

  • 2016 ඔක්තෝබර් 9
බුදු දහම Image copyright Getty/ ISHARA S.KODIKARA
Image caption ''රජයක් වශයෙන් ජනාධිපතිතුමා හෝ අපි කවුරු හෝ බෙර ගහලා ඒ ගැන ප්‍රකාශ කරන්නේ නැහැ. බුදු සසුන ආරක්ෂා කරන්නේ ක්‍රියාවෙන්, වචනයෙන් නොවෙයි,''

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදු දහමට ලබා දී තිබෙන ප්‍රමුඛත්වය එලෙසින්ම පවත්වා ගෙන යාමට දේශපාලන පක්ෂ පමණක් නොව සියලු ආගමික නායකයන්ද එකඟ වී ඇති බැවින් ඒ පිළිබඳ ගැට‍ළුවක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

බුදු සසුන ආරක්ෂා කිරීම සඳහා පවතින වගන්තිය නව ව්‍යවස්ථා මගින්ද සහතික කිරීමට සියලුම පක්ෂය එකඟතාව පළ කොට ඇති බව අගමැතිවරයා කියා සිටියේ කොලොන්නාව ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමිනි.

"බුදු සසුනට ව්‍යවස්ථාව තුළ තිබෙන වගන්තිය එලෙසම පවත්වා ගෙන යාමට දෙමළ සන්ධානය ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු ම පක්ෂ සිය එකඟතාවය පළ කර තිබෙනවා. මීට අමතරව හින්දු, කතෝලික සහ මුස්ලිම් ආගමික නායකයන් ද ඒ සඳහා එකඟ වෙලා තිබෙනවා," ඔහු පැවසීය.

දැනට බුදු දහමට ලබා දී තිබෙන ප්‍රමුඛස්ථානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉවත්කිරීමට සැරසෙන බවට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් කොටස් සහ දැඩි මතධාරී බෞද්ධ සංවිධාන චෝදනා කරති.

වත්මන් ආණ්ඩුව බුදු සසුන ආරක්ෂා කරන්නේ වචනයෙන් නොව ක්‍රියාවෙන් බවත් අගමැතිවරයා සඳහන් කළේය.

"රජයක් වශයෙන් ජනාධිපතිතුමා හෝ අපි කවුරු හෝ බෙර ගහලා ඒ ගැන ප්‍රකාශ කරන්නේ නැහැ. බුදු සසුන ආරක්ෂා කරන්නේ ක්‍රියාවෙන්, වචනයෙන් නොවෙයි."

"බුදු සසුන ආරක්ෂා කිරීමට රජයක් වශයෙන් අපි සියලුම පියවර අරගෙන තිබෙනවා. සමහරුන් බුදු දහම ආරක්ෂා කරන්නේ වචනයෙන් නමුත් ක්‍රියාවෙන් බුදු දහම නැති කරන්න දක්ෂයෝ,' අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්