උදය ගම්මන්පිළ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මා ගැන දැක්වූ කාර්යක්ෂමතාවය දෙමළ ජනතාව ගැනත් දක්වන්න'

තමාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අනුගමණය කළ 'කාර්යක්ෂම පිළිවෙත' අහිංසක දෙමළ සිරකරුවන්ට සහ අසාධාරණ අයුරින් සිරගත කොට සිටින සෙසු සැකකරුවන් සම්බන්ධයෙන්ද අනුගමනය කරන මෙන් උදය ගම්මන්පිළ මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරයි.

නීතිපතිවරයාගේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් අසාධාරණ ලෙස සිර ගත වී සිටින දෙමළ සිරකරුවන් සහ සෙසු සැකකරුවන්ගේ නඩු කඩිනමින් අවසන් කිරීමට පියවර ගත යුතු බවත් පිවිතුරු හෙළ උරුමයේ නායකයා බීබීසී සංදේශයට පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට විරෝධයක් නොමැති බවට කළ ප්‍රකාශය ඇතැමුන් විකෘති කර ඇති බවයි, ඔහු පවසන්නේ.

'දේශපාලන සිරකරුවන් නෑ'

"දේශපාලන හේතුවක් මත කුමන අයෙක් හෝ සිරකරුවෙක් නොවිය යුතුයි. අද ඔය අත්අඩංගුවේ ඉන්න පුද්ගලයන් අත්අඩංගුවේ ඉන්නේ ත්‍රස්තවාදී ක්‍රියා මතයි," ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන සිරකරුවන් නොමැති බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවත් ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේ, බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයා වූ කේපී හෙවත් කුමාරන් පත්මනාදන් පවා නිදහස් කිරීමට තමන් නියෝජනය කළ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළ බව පෙන්වාදුන් ගම්මන්පිල මන්ත්‍රීවරයා, තම ආණ්ඩුව කටයුතු කළේ "ප්‍රශ්නය අමතක කර සමාව දීමේ" ප්‍රතිපත්තියේ පිහිටා බවයි සඳහන් කළේ.

"නමුත් මේ ආණ්ඩුව බලයට පත් වුනාට පස්සේ රණවිරුවන්ට දඬුවම් කරමින් කොටි ත්‍රස්තවාදීන්ට සමාව දෙනවා. ඒක අනුමත කරන්න බැහැ," ඔහු පැවසීය.

උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන් ජාතිවාදියකු නොවන නමුත් උතුරේ ප්‍රශ්න විසඳීමට අසමත් වීම තුළ ඔහු ජාතිවාදය පැතිරවීමට කටයුතු කරමින් සිටින බවත් හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ වැඩිදුරටත් කියා සිටියේය.