හමුදා අත්අඩංගුවට ගැනීම් ගැන ජනපතිගේ අසතුට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නාවික හමුදාපතිවරුන් උසාවි ගෙන යාම: ජනපති අප්‍රසාදය

හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු අධිකරණය හමුවට කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය අප්‍රසාදය ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (12) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති "සත්විරු සංහිඳ" නිවාස හා ඉඩම් හිමිකම් ප්‍රදානෝත්සවය අමතමිනි.

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කර ඇත්තේ අරමුණක් සහ ප්‍රතිපත්තියක් මත බවත් ඊට අදාළ විෂය ක්‍ෂේත්‍රය එහි සේවය කරන්නන් දැනගත යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දේශපාලන න්‍යාය පත්‍ර

'මීට සතියකට කලින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාවේ නාවික හමුදාපතිවරු තුන් දෙනෙක් උසාවියට අරගෙන ගියා. මම සම්පුර්ණයෙන් මගේ අප්‍රසාදය පළ කරනවා යුද්ධය කරපු නාවික හමුදාපතිවරු තුන් දෙනෙක් උසාවියට දක්කාගෙන යාම පිළිබඳව.' යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දේශපාලන න්‍යාය පත්‍ර මත ක්‍රියා කරන්නේ නම් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ජනාධිපතිවරයා මෙහිදී අනතුරු ඇඟවීය.

'මම විවෘතව මේ රටේ ජනතාවට කියනවා, මම ජනාධිපති වුණේ උසාවියට ටෙලිෆෝන් කෝල් දෙන්න නෙමෙයි. මම කිසිම වෙලාවක හමුදාව දුර්වල කරන්න කටයුතු කරන්නේ නැහැ. හමුදාව දුර්වල කරන්න මම ඉඩ දෙන්නෙත් නැහැ.' යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.