'ජනපති ප්‍රකාශය ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටුමක්'

Image caption ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන්

හමුදා ප්‍රධානීන් සහ ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් අධිකරණයට කැඳවනු ලැබීම සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තැබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමතියට පත් වූ බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දක්වමින් හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවන ලද්දේ 'ඇවන්ගාර්ඩ්' විභාගයට අදාළ නඩුකරයක් සඳහා වූ බවයි සඳහන් කළේ.

'හමුදාවේ නිලධාරීන් යුද්ධයට ගිය බව ඇත්ත. නමුත් ඔවුන් යුද්ධයෙන් පසුව වෙනත් තනතුරු දරමින් සිදු කරන කටයුතු ශ්‍රී ලංකාවේ නීතියට පටහැණි වේනම් පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ඔවුන් සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා' රජිත් කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය එම ක්‍රමවේදය අනුව කටයුතු කර ඇති බව තම තේරුම් ගැනීම බවත් ඔහු පවසයි.

එක් පාර්ශ්වයක් සම්බන්ධයෙන් එවැනි නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් ඇති අතරම අනිත් අතින් අල්ලස් දූෂණ සිදු කළ තවත් පුද්ගලයන්ට එරෙහිව දේශපාලන ළබැඳියා නිසා පියවර නොගැනීමක් දක්නට ලැබෙන බවත් දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි.

දේශපාලන බලපෑම්

මහබැංකු බැඳුම්කර විකිණීමේ සිද්ධියේ දී සිදු වූ අපචාර ඇතුළත් වාර්තාවක් මහජනතාව අතට පත්ව තිබියදීත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම ඔහු ඊට නිදසුනක් ලෙස දක්වයි.

පසුගිය කාලය තුළ දූෂණ සම්බන්ධයෙන් සිදු කෙරුණ පරීක්ෂණවලට දේශපාලන බලපෑම් එල්ල වීම ඉතා පැහැදිළි කරුණක් බවයි රජිත් කීර්ති තෙන්නකෝන් පවසන්නේ.

යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් කීප දෙනෙක් දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අප්‍රසාදය පළවීම පිළිබඳව බීබීසිය රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් විමසූ විට ඔහුගේ පිළිතුර වුණේ,එම නිලධාරීන් අපරාධ නඩුවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයක් අතරවාරයේ රඳවා තබා ඇති අතර ඔවුන් නිදහස් කරනු ලැබීම එම නඩුවේ පරීක්ෂණ වලට බාධාවක් විය හැකි බවය.

ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශය 'ආණ්ඩුව අභ්‍යන්තරයේ පාර්ශවකරුවන් අතර වැඩෙමින් පවතින පරතරය ප්‍රකාශිත අවස්ථාවක් හැටියට විග්‍රහ කළ හැකි බවත්' දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර