වතු කම්කරුවන් වතු හැර යන තත්වයක්

වතුකරයේ වැටුප් ප්‍රශ්නය නොවිසඳීම හේතුවෙන් වතු කම්කරුවන් වැඩි වැටුප් සහිත රැකියා සොයා තේ වගාවෙන් ඉවත්ව යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව වතු ඒකාබද්ධ වෘත්තීය සමුළුව පවසයි.

වතු ඒකාබද්ධ වෘත්තීය සමුළුවේ ප්‍රධාන ලේකම් එස් රාමනාදන් කියා සිටියේ රජය විසින් යෝජිත රුපියල් හත්සිය තිහේ දෛනික වැටුප ලබා දීමට එකඟ නොවන වතු හාම්පුතුන්ගේ සංගම් විවිධ ගැට‍ළු ඉදිරිපත් කරමින් සිටින බවයි.

ඔහු මේ බව කියා සිටියේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා තේ වතු කම්කරුවන් විසින් ගෙන යන අඛණ්ඩ විරෝධතා ව්‍යාපාර වල වත්මන් තත්වය කුමක්දැයි සංදේශ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

'ඉතිරිව ඇත්තේ කාන්තාවන් පමණයි'

වතු කම්කරුවන් සහ හාම්පුතුන් අතර දැනට පවතින සාමූහික ගිවිසුමට අනුව කම්කරුවකුට දින හයක් වැඩ කිරීමට අවස්ථාව දිය යුතු නමුත් රජය විසින් යෝජිත වැටුප ලබා දීමට නම් වැඩ දින ගණන හතරකට අඩු කළ යුතු බවට වතු හාම්පුතුන් ඉල්ලීම් කරන බවයි එස් රාමනාදන් කියා සිටියේ.

ඔහු වැඩි දුරටත් පැවසුවේ මෙම වැටුප් ප්‍රශ්නය මුල් කර ගෙන මේ වන විට වතු කම්කරුවන් දිනකට රුපියල් දහසක් පමණ ගෙවන වෙනත් රැකියා වෙත යොමු වෙමින් සිටින අතර තේ දළු කැඩීමට ඉතිරිව ඇත්තේ කාන්තාවන් පමණක් බවයි.

දැනට පවතින තේ වගාවන් වල දළු කැඩීම කම්කරුවන් විසින් සිදු කරනු ලැබුවත් රජය නිසි ලෙස වතු නඩත්තු කිරීමට අවධානය යොමු නොකිරීම නිසා බොහෝ තේ වගාවන් වල් බිහි වී විනාස වෙමින් පවතින බවයි වතු ඒකාබද්ධ වෘත්තීය සමුළුවේ ප්‍රධාන ලේකම් එස් රාමනාදන් පෙන්වා දෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර