ගෝඨාභය රාජපක්ෂ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මෛත්‍රී සහ රාජපක්‍ෂවරු අතර රහස් ගිවිසුම් නැහැ -ගෝඨාභය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජපක්‍ෂවරුන් අතර කිසිදු රහස් ගිවිසුමක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසයි.

නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු අධිකරණයට කැඳවීම පිළිබඳව අප්‍රසාදය පළ කිරීමට පෙර ජනාධිපතිවරයා තමා සමඟ සාකච්ඡා නොකළ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.

බීබීසී සංදේශය වෙනුවෙන් තිසර රතුවිතාන සමඟ විශේෂ සංවාදයකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේ ආරක්ෂක සමුළුවකට සහභාගී වීම සඳහා චීනයට ගොස් සිටින අතරතුරදී ය.

බරපතළ දූෂණ චෝදනා

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳව ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාට 'සත්‍යය අවබෝධවීම' ගැන තමා සතුටුවන බවය.

'මොනව උනත් වර්තමාන ජනාධිපතිතුමාට මේ සිද්ධීන් සම්බන්ධයෙන් සත්‍යය අවබෝධවීම ගැන මම සන්තෝෂ වෙනව. මම හිතනවා ඒ ආකාරයෙන්ම එතුමා ක්‍රියාවෙනුත් සෘජුවම ක්‍රියා කරයි කියල, මම විශ්වාස කරනවා, මේ විවිධ න්‍යාය පත්‍රවලට වැඩ කරන අයගේ බලපෑම්වලට යටත් නොවී.' හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

කෙසේ නමුත් ඔහුට බරපතළ දූෂණ චෝදනා එල්ලවී ඇති බැවින් රටේ පවතින නීතියට අනුව ඒවා විභාග කිරීම නිවැරදි නොවේදැයි බීබීසීය විමසූ විට ඔහු කියා සිටියේ තමන් කිසිදු පරීක්ෂණයක් මගහැර නොමැති බවය.

'අපි අවුරුදු දෙකක් තිස්සේ පැහැදිලිවම පෙන්නුම් කරලා දුන්න විවිධ ආයතන මගින් කරන මේ පරීක්ෂණ දේශපාලන න්‍යාය පත්‍රයක් මතම කරනවා කියල. දැන් ජනාධිපතිතුමාම මේ කාරණය පැහැදිලි කරලා දෙනවා ඒ ආකාරයෙන් ම.' හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පැවසීය.

'බිලියන 11.4ක පාඩුවක්'

පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සඳහා පුද්ගලික සමාගමකට අනුමැතිය දීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට නඩු පවරා තිබේ.

අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත්තේ 2012 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ ඇවන්ගාර්ඩ් පුද්ගලික සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් රජයට රුපියල් බිලියන 11.4 කට වැඩි පාඩුවක් සිදු කර ඇති බවය.

ඇවන් ගාඩ් සමාගමට සම්බන්ධ නඩුවට නාවික හමුදාපතිවරුන් අධිකරණයට කැඳවන්නේ ඔවුන් විශ්‍රාම යාමෙන් පසු එම සමාගමේ උපදේශකයන්වීම හේතුවෙන් මිස ඔවුන් නාවික හමුදාපති ධුරයේ නිරතවූ රාජකාරි සඳහා නොවන බව දුෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.

(සම්පූර්ණ සාකච්ඡාවේ හඬ පටය අමුණා ඇත.)