සිය දිවි නසාගත් බුද්ධි අංශ සෙබළා පිළිබඳ පුළුල් පරීක්ෂණයක් - පොලිස්පති

පොලිස්පතිවරයා වුනියාවේ ඊච්චන්කුලම හා බෝගස්වැව යන ප්‍රදේශවල නව පොලිස් ස්ථාන දෙකක් විවෘත කිරීමේ උත්සවවලට සහභාගි වෙමින්
Image caption පොලිස්පතිවරයා වුනියාවේ ඊච්චන්කුලම හා බෝගස්වැව යන ප්‍රදේශවල නව පොලිස් ස්ථාන දෙකක් විවෘත කිරීමේ උත්සවවලට සහභාගි වෙමින්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ බවට සටහනක් තබා සිය දිවි නසා ගනු ලැබූ කෑගල්ල ප්‍රදේශයේ විශ්‍රාමික හමුදා නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කොට ඇති බව පොලිස්පති පූජිත ජයසුන්දර පවසයි.

සිය දිවි නසා ගැනීමට පෙර විශ්‍රාමික බුද්ධි අංශ හමුදා නිලධාරියා විසින් තබා ඇති බව පැවසෙන සටහනේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ නිශ්චිත නිගමනයකට ඒමට අපහසු බව පොලිස්පතිවරයා කියා සිටියේ වවුනියාවේ ඊච්චන්කුලම හා බෝගස්වැව යන ප්‍රදේශවල නව පොලිස් ස්ථාන දෙකක් විවෘත කිරීමේ උත්සවවලට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

"එතනදී විශේෂ වූ කරුණු කාරණා ගණනාවක් පිළිබඳ සලකා බැලීමට අවශ්‍යයි. ඒ පුද්ගලයා ඒ ආකාරයේ සටහනක් තැබුවේ ඇයි?, මොකක්ද ඊට හේතුව, ඒ හේතුව පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම අවශ්‍යයි,"

"මේ පුද්ගලයා එවැනි ප්‍රකාශයක් සිදු කළා පමණක් නොවෙයි, ඔහු සිය දිවි නසා ගත්තා. සිය දිවි හානි කර ගැනීමට හේතුව කුමක්ද?, එය රාජකාරි හේතුවක්ද?, විශ්‍රාමිකයකුට තිබෙන රාජකාරි හේතුව කුමක්ද?, නැතිනම් පෞද්ගලික කාරණාවක්ද?, ඔහුට කිසියම් මානසික පීඩනයක් එල්ල වුනාද?, තර්ජනයක් එල්ල වුනාද?,"

'අපිට මෙවැනි ප්‍රකාශයක් කළ පමණින් නිගමනයකට ඒමට හැකියාවක් නැහැ,' පොලිස්පතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශය

යාපනයේ කොඩිකාමම් පොලිස් ස්ථානය තුළදී මීට වසර කීපයකට පෙර දෙමළ සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් එකොළොස් දෙනෙකු ඊයේ (ඔක්තෝබර් 14) වනදා අත්අඩංගුවට ගනු ලැබීම පිළිබදව අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ යමි කිසි වැරැද්දක් සම්බන්ධයෙන් වැදගත් වන්නේ වරදේ ස්වභාවය මිස අත්අඩංගුවට ගන්නා පුද්ගලයා නොවන බවය.

"රටේ නීතියට අනුව වැරදි කළේ කවුද කියන දේ නොවෙයි වැදගත්, කුමක්ද වැරැද්ද කියන දේයි වැදගත්. පොලිස් හෝ හමුදා නිලධාරියෙක්ද, බාහිර පුද්ගලයෙක්ද,පරිපාලකයෙක්ද කියන දේ නොවෙයි අදාළ වෙන්නේ. වරද කුමක්ද කියන කාරණයයි වැදගත් වන්නේ,"

අපරාධයකට සම්බන්ධ බවට සාක්ෂි ඇත්නම් එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පොලිසියේ වගකීම බවත් පොලිස්පති පූජිත ජයසුන්දර සඳහන් කළේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සහ ආරක්ෂක නිලධාරීන් අධිකරණයට රැගෙන යාම සම්බන්ධයෙන් පසුගිය දිනක ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳ තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ පොලිස්පතිවරයා පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර