පොලිස් කාන්තාවන්ට පොලිසියෙන් 'ලිංගික හිරිහැර'

වර්තමානයේ සියයට එකොළහක් පවතින පොලිස් දෙපාර්තමේන්තුව තුල පොලිස් කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩි කිරීමට යෝජනවක් Image copyright Getty/ LAKRUWAN WANNIARACHCHI
Image caption වර්තමානයේ සියයට එකොළහක් පවතින පොලිස් දෙපාර්තමේන්තුව තුල පොලිස් කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩි කිරීමට යෝජනවක්

පොලිස් නිලධාරීන්ගෙන් සිදු වන ලිංගික හිරිහැර ඇතුළු ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ නිරත කාන්තාවන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම පිණිස පියවර ගනිමින් සිටින බව ජාතික පොලිස් කොමිසම පවසයි.

පොලිස් කාන්තාවන් මුහුණ දෙන ලිංගික අතවර වැළැක්වීමේ කෙටී කාලීන පියවරක් වශයෙන්, පළාත් නවයටම දැනටමත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියන් පත් කර ඇති බවත් කොමිසමේ සභාපති මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ බීබීසී සංදේශයට පැවසීය.

"ඒක හැම ආයතනයකම තියන ගැටලුවක්. ඕක පොලිසියට පමණක් සීමා වුන එකක් නෙවෙයි. විශ්ව විද්‍යාලවල ඔය ප්‍රශ්නය තියෙනවා," ඔහු පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න)

එබැවින් පොලිස් කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර වැළැක්වීමේ දිගුකාලීන පියවරක් වශයෙන් එයට එරෙහි ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවත් මහාචාර්යවරයා පවසයි.

ජ්‍යෙෂ්ඨත්වය සහ දස්කම් ප්‍රකාර උසස්වීම් නොලැබීම ඇතුළු පොලිස් කාන්තාවන් මතුකරන වෘත්තීයමය ගැටළු සම්බන්ධයෙන් කෙටි කාලීන සහ දිගු කාලීන වශයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් මහාචාර්ය හෙට්ටිගේ සඳහන් කළේය.

'කෙටි කාලීන සහ දිගු කාලීන'

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
'පොලිස් කාන්තාවන්ට උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක්'

වර්තමානයේ සියයට එකොළහක්ව පවතින පොලිස් දෙපාර්තමේන්තුව තුල කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩි කිරීමට යෝජනා කිරීම ඔහු පෙන්වාදෙන තවත් පියවරක්.

"විශේෂයෙන් පොලිසිය තුළ අඩු මට්ටමින් පවතින කාන්තා ප්‍රතිශතය සෑම මට්ටමකම තනතුරුවලට අදාළ වෙන විදිහට වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා," ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ කොමිසමට වසරක් පිරීම නිමිත්තෙන් බීබීසී සංදේශයට අදහස් දක්වමින්.

පොලිසියට එරෙහිව ලැබී ඇති මහජන පැමිණිලි ඇතුළු පොලිස් නිලධාරීන් විසින් කරන ලද අපචාර පිළිබඳ අධ්‍යයන කරමින් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට ජාතික පොලිස් කොමිසම කටයුතු කරමින් සිටින බවත් මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ වැඩිදුරටත් පැවසීය. (සංදේශයට සවන්දෙන්න)

පොලිසියේ කාර්යක්ෂමතාව සහ වගකීම සම්බන්ධයෙන් සෑම පොලිස් ස්ථානයකම පිළිබඳ 'සමාජ විගණනයක්' (social audit) කිරීම පොලිස් කොමිසම යෝජනා කරන තවත් ක්‍රියාමාර්ගයක්.

'සමාජ විගණනයක්'

Image copyright Getty/ ISHARA S.KODIKARA
Image caption "මීට අමතරව පොලිස් ස්ථානවල තිබෙන අඩුපාඩු හඳුනා ගෙනීම සඳහා විශේෂ පරීක්ෂණයක් අපි පවත්වනවා."

යළිත් වරක් රට තුල පැතිර යමින් තිබෙන අපරාධ රැල්ල මැඩලීම පිණිස නිසි පියවර නොගන්නා බවට පොලිසියට එල්ල වන චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේ මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ කියා සිටියේ, අපරාධ වැළැක්වීම පිණිස පොලිසියේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිකිරීමට දැනටමත් ඇතැම් පියවර ගෙන තිබෙන බවයි.

"මීට අමතරව පොලිස් ස්ථානවල තිබෙන අඩුපාඩු හඳුනා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් අපි පවත්වනවා. 'මහජනතාවට වග කියන පොලිසිය' කියන මාතෘකාව වචනයට විතරක් සීමා නොකර ඒ සඳහා සමාජ විගණනයක් කරන්න අපි පියවර අරගෙන තිබෙනවා."

දශක ගණනාවක් තුල ගොඩ ගැසුණු ගැටළු මාස කිහිපයක් තුල විසඳිය නොහැකි බව පෙන්වා දුන් සභාපතිවරයා, ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ ප්‍රබල පරිවර්තනයක් ඇති කිරීම සිය බලාපොරොත්තුව බව වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්