හම්බන්තොට වකුගඩු රෝග නිවාරණ ඒකකයට 'වෛද්‍යවරයෙක් නැහැ'

  • 2016 ඔක්තෝබර් 16
හම්බන්තොටිනුත් වකුගඩු රෝගීන් හැට පස් දෙනෙක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වකුගඩු රෝග නිවාරණ ඒකකයට මේ දක්වා වෛද්‍යවරයකු අනුයුක්ත කොට නොමැති බව වැඩ බලන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීව පවසයි.

එමෙන්ම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වකුගඩු රෝග සායන සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලක් නොමැති බවත් වැඩබලන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස් වූ අවස්ථාවේදී.

බෝ නොවන රෝග නිවාරණ ඒකකය මගින් දැනට වකුගඩු සායන කටයුතු ක්‍රියාත්මක කරන නමුත් එය ප්‍රමාණවත් නොවන බවත් ඔහු සඳහන් කළේය.

2015 වසරේ සිට මේ දක්වා සිදු කරන ලද සායන තුළින් හේතුව නිශ්චිත වශයෙන් හඳුනා නොගත් වකුගඩු රෝගීන් 12 දෙනකු සහ හේතුව හඳුනා ගත් වකුගඩු රෝගීන් පනස් පස් දෙනකු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් කියා සිටියේය,

එම සියළුම රෝගීන් පිරිමි අය වන අතර ඔවුන් අවුරුදු 50-60 ත් අතර සීමාවේ පසු වන බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

වකුගඩු සායන සඳහා පිරිමි අයගේ පැමිණීමේ සැලකිය යුතු අඩු වීමක් තිබෙන බැවින් නොමිලේ පවත්වනු ලබන සායන සඳහා සහභාගී වන ලෙස වෛද්‍යවරයා ප්‍රදේශයේ ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්