'බිමට පනින බවට ලිපියක් ලියා කුලුන මත උපවාසයේ'

Image caption මෑන් පවර් සේවකයෝ උද්ඝෝෂණය කළ අවස්ථාවක්

සිය සේවය ස්ථිර කර දෙන ලෙස ටෙලිකොම් ආයතනයෙන් ඉල්ලා සිටිමින් 'මෑන් පවර්' ආයතනයේ සේවකයන් තිදෙනෙක් සම්ප්‍රේෂණ කුලුනක් මත නැග උපවාසයේ යෙදෙති.

තම ඉල්ලීමට විසඳුම් නොලැබුණහොත් බිමට පනින බවට ලිපියක් ලියා තබා මෙම සේවකයන් තිදෙනා කොළඹ කොටුවේ ටෙලිකොම් සම්ප්‍රේෂණ කුලුනට නැග ඇති බව තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය පවසයි.

එම සංගමයේ සභාපති මහේෂ් ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේ වර්ෂාව සමඟ අකුණු ගැසීම් ඇති වුවහොත් මෙම සේවකයන් තිදෙනාගේ ජීවිත අවදානමට ලක් වන බවය.

කෙසේ නමුත් මෙම උපවාසයට තමන්ගේ වෘත්තීය සමිතියේ සම්බන්ධයක් නොමැති බවත් මෙම තිදෙනා සම්ප්‍රේෂණ කුලුනට නැග ඇත්තේ ස්වකැමැත්තෙන් බවත් ඔහු පැවසීය.

මෑන් පවර් සේවකයන් පිරිස ටෙලිකොම් සමාගමේ ස්ථිර සේවයට බඳවා ගන්නා බවට වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රතිඥා දී තිබෙන බවත් තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.

මේ පිළිබඳව ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා විෂය භාර අමාත්‍යවරයා සහ ටෙලිකොම් බලධාරීන් ඇමතීමට සංදේශය ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.