හක්කිද දූපත් 'විනාශ මුඛයේ'

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
හක්කිද දූපත් බේරා දෙන්න - ජනපතිට ඉල්ලීමක්

මහවැලි ගංගාවේ වැඩිම දූපත් ප්‍රමාණයකින් යුක්ත හක්කිද දූපත් සමූහය විනාශ වීමේ අවදානමක් ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

මධ්‍යම කඳුකරයේ ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් වන ගැටඹේ සීමා මාලකය අසල සිට දොඩම්වල දක්වා මහවැලි ගංගාවට අයත් ප්‍රදේශයේ පිහිටි හක්කිද දූපත් සමූහයට දූපත් 12ක් අයත්වේ.

මීට පෙර අදාළ ප්‍රදේශය තුළ දූපත් විස්සක් පැවැතිය ද අනවසර ගොඩකිරීම් හේතුවෙන් දූපත් දොළහ දක්වා අඩුවී ඇත.

මහවැලි ගංගාවේ පටුම හා පළලම ස්ථාන ද, එම ගංගාවේ වැඩිම දූපත් ප්‍රමාණ ද පිහිටා ඇත්තේ ද මෙම ප්‍රදේශයේ යැයි මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුවේ සභාපති ප්‍රදීප් සමරවික්‍රම පවසයි.

ලෝකයෙන් තුරන්වූ බව කියැවුණු කොළගඩයා නම් දුර්ලභ මත්ස්‍යයා මෙහිදී හමුවී ඇති අතර එම ජීවියාට හිතකර පරිසරයක් මෙම කලාපය තුළ නිර්මාණය වී තිබේ.

ශ්‍රී ලංකා කොළගඩයා, ලේල්ලා, ගංආරා, වැනි මධ්‍යම කඳුකරයට ආවේණික මත්ස්‍ය විශේෂ මෙන්ම කදු අහිරාවා, ගල් පාඩියා, දංකොළ පෙතියා, තල් කොස්සා වැනි ශ්‍රී ලංකාවට ආවේණික මසුන් රැසක් ද මෙම ස්ථානයේ ජීවත්වන බව නාරා ආයතනය 2013 වසරේදී කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුවේ සභාපති ප්‍රදීප් සමරවික්‍රම පැවසීය.

අවේනික විශේෂ

හක්කිද දූපත්වලට පමණක් ආවේණික කෙටල , අතිඋඩයන් ඇතුළු ශාඛ විශේෂ කිහිපයකින් ද මෙම දූපත් සමූහය සමන්විත යැයි ඔහු කීය.

එහෙත් ඔහු පෙන්වාදෙන පරිදි, මෑතක සිට අනවසරයෙන් ඉඩම් අත්පත්කොට සංචාරක හෝටල් හා නිවාස ඉදිකිරීම, නාගරික අපද්‍රව්‍ය මහවැලි ගංගාවට බැහැර කිරීම, දූපත් සමූහයට ඉහළ මහවැලි ගංගාවේ ඉවුරු ගොඩ කිරීම ඇතුළු කරුණු රැසක් හේතුවෙන් දූපත් සමූහය විනාශවීමේ අවදානමකට ලක්ව තිබේ.

ඇතැම් පිරිස් මහවැලි ගංගාවට පස් පුරවා සිය භූමි වපසරිය පුළුල් කර ගන්නා බවට ද මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුවේ සභාපතිවරයා චෝදනා නැගීය.

එමෙන්ම දූපත් කලාපය අසල පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට සමාගමක් ක්‍රියාකළ අතර ඒ හේතුවෙන් විශාල පාරිසරික හානියක් එහි සිදුවූ බව ද ප්‍රදීප් සමරවික්‍රම කීවේය.

අධි පරිසර සංවේදී කලාපයක්වන හක්කිද දූපත් සමූහය සංරක්ෂිත කලාපයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස පරිසර සංවිධාන ඉල්ලා සිටිති.

ජනපතිට ඉල්ලීමක්

මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඒ සඳහා අවශ්‍ය මූලික නිර්දේශ සියල්ල සකස් කර ඇති නමුත් නිර්දේශ ඇතුළත් අදාළ ගැසට් පත්‍රය මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී නැතැයි පරිසරය වෙනුවෙන් නීතිඥ සංවිධානයේ මධ්‍යම පළාත් සභාපති නීතිඥ ශාන්ත රත්නායක ප්‍රකාශ කළේය.

ගැසට් නිවේදනයක් මගින් හක්කිද පරිසර කලාපය සංරක්ෂිත කලාපයක් වශයෙන් ප්‍රකාශයට පත් කළහොත් එය සුරැකීම සඳහා නෛතික පසුබිමක් සැකසෙන බව ඔහු සඳහන් කරයි.

විනාශවීමේ දැඩි අවදානමකින් යුතු මෙම දූපත් සමූහය රැකගැනීම සඳහා නීතිමය පියවර නොගතහොත් ඉදිරියේදී මෙම ප්‍රදේශයට පමණක් ආවේණික ජීවි හා ශාඛ ප්‍රජාව විනාශවී යනු ඇතැයි පරිසරවේදීහු වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්