දරු දිවි රැක්මට යළි පැමිණි බ්‍රිතාන්‍ය වෛද්‍යවරු

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ගාල්ලේ දරුවන්ට නොමිලේ හද සැත්කම්

බ්‍රිතාන්‍ය වෛද්‍යවරු සහ හෙද හෙදියන් කණ්ඩායමක් ගාල්ල කරාපිටිය රෝහලේදී ශ්‍රී ලාංකික හදවත් රෝගී දරුවන්ට නොමිලේ හදවත් සැත්කම් කිරීමේ යෙදී සිටිති.

ගතව ගිය 14 වසර තුළ සිය කණ්ඩායම ළමා හෘද රෝගීන් 225 ට වැඩි පිරිසකට හදවත් සැත්කම් සිදු කළ බව කී කණ්ඩායමේ ශල්‍ය වෛද්‍ය කොනල් ඔස්ටින් පසුගිය සතියක පමණ කාලය ඇතුළත දිනකට සැත්කම් තුනක් පමණ සිදු කළ බව පැවසීය.

සාමාන්‍ය ඇස්තමේන්තු අනුව රුපියල් ලක්ෂ තුනක සිට ලක්ෂ තිහ දක්වා මුදලක් මෙවැනි සැත්කමක් සඳහා වැය වේ.

බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ 15 ට අධික වටිනාකමකින් යුත් අධි තාක්ෂණික ශල්‍යාගාර උපකරණ සහ ඖෂධ ද එම වෛද්‍ය කණ්ඩායම විසින් කරාපිටිය රෝහලට ප්‍රදානය කරනු ලැබීය.

වාර්ෂික නිවාඩු කාලයේ

ජිලිංහැම් පාපන්දු සමාජයේ සහ Elliot Scally Trust සහාය සහිතව Take Heart Mercy Mission පුණ්‍යාධාර ආයතනයේ සාමාජිකයන් මේ කාර්යයේ නිරතව සිටින්නේ බ්‍රිතාන්‍ය ජනතාවගේ ආධාර මුදලිනි.

2003 දී සිය පුත්‍රයා හද සැත්කමකින් අනතුරුව මියයාම හේතුවෙන් තමන් පුණ්‍යාධාර ආයතනයට සම්බන්ධ වූ බවයි, ආයතනයේ සභාපති පෝල් ස්කැලි සඳහන් කළේ.

මුලින් කොළඹදී නොමිලේ සැත්කම් කිරීමෙන් අනතුරුව, කරාපිටිය රෝහලේ හෘද ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ට උපකාරවීමට තීරණය කළ බවත් ඔවුහු පවසති.

පසුගිය 14 වසර පුරා තමන් යෙදී සිටින මෙම සද්කාර්යය ඉදිරියේදී යාපනයටත් රැගෙන යාම ඔවුන්ගේ අපේක්ෂාවය.

එංගලන්තයේ එවලීනා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 8කු, හෙදියන් 10 දෙනෙකු මෙන්ම සහායකයන් මෙම සද්කාර්යයේ නිරත වන්නේ ඔවුන්ගේ වාර්ෂික නිවාඩු කාලය උපයෝගීකරගනිමිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්