නිමලරාජන් ඝාතනය කොට වසර දහසයයි

Image caption මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ආරක්ෂාව සහතික කළ යුතු බව උද්ඝෝෂකයෝ කියා සිටියහ

යාපනයේ මාධ්‍ය සමාජය තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක සහය ඇතිව යාපනය නගරය පුරා අද (ඔක්.19) දහවල් පෙලපාලි යමින් උද්ඝෝෂණයක නිරත වූහ.

එම උද්ඝෝෂණයේ අරමුණ වූයේ බී.බී.සී. ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක යාපනය වාර්තාකරු වූ නිමලරාජන් මයිල්වාගනම් වෙඩිතබා ඝාතනය කොට වසර දහසයක් ඉකුත්ව ඇතත් ඔහුගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට නොගැනීමට විරෝධය පෑමය.

නිමලරාජන් ඝාතනය කරනු ලැබුවේ එවක රාත්‍රී ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවක ආයුධ සන්නද්ධව ඔහුගේ නිවසට කඩා වැදුණු පුද්ගලයින් පිරිසක් විසිනි.

සැකකරුවන්

ඝාතකයින් එතැනින් පිටව යාමට පෙර නිවසට එල්ල කළ බෝම්බ ප්‍රහාර කිහිපයකදී නිමලරාජන්ගේ මව සහ තවත් අයෙකු තුවාල ලැබීය.

නිමලරාජන් ඝාතනයට පැමිණි බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු ආ යතුරු පැදියක් සහ ඊ.පී.ඩී.පී. සාමාජිකයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගත් අතර ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇතත් මේ දක්වා කිසිවෙකුටත් දඬුවම් නොකිරීම පිළිබඳව උද්ඝෝෂණ කරුවෝ විරෝධතාවය පළකළහ.

යුද්ධය අවසන්වුව ද, උතුරු නැගෙනහිර පළාත් තුළ දෙමළ මාධ්‍යවේදීන්ට නිදහසේ සිය වෘත්තියෙහි යෙදිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් රජය ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කොට මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ආරක්ෂාව සහතික කළ යුතු බව උද්ඝෝෂකයෝ කියා සිටියහ.

බීබීසී යෙන්