ඇවන්ගාඩ් සභාපතිට විදෙස්ගත වීමට අවසර

අල්ලස් කොමිසමේ විරෝධය ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට වසරක කාලයක් විදේශගතවීම සදහා අද අවසර දුණි.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක විත්තිකරුවකුවන නිශ්ශංක සේනාධිපති මීට පෙර ඇප මත මුදාහැරීමේදී ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කළේය.

විත්තිකාර සේනාධිපති වෙනුවෙන් ඔහුගේ නීතිවේදියා අද ඉදිරිපත් කළ ඉල්ලීමෙන් කියැවුනේ සිය සේවාදායකයාට කොඳු ඇට පෙලේ ශල්‍යකර්මයක් සිදුකරගැනීම සඳහා ඉඩ සළසමින්, ඔහු විදේශගතවීම වළකමින් දැනට පනවා තිබෙන තහනම වසරක කාලයක් සඳහා ඉවත්කරන ලෙසය.

එම ඉල්ලීමට විරෝධය පෑ අල්ලස් කොමිසම කියා සිටියේ, කෙටි කාලයක් සඳහා විත්තිකරුගේ විදෙස් ගමන් තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති වුව ද වසරක කාලයකට එය ඉවත්කිරීමට විරුද්ධවන බවය.

කෙසේවෙතත්, විත්තිකරුගේ විදෙස් ගමන් තහනම වසරකට ලිහිල් කරන බව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය කියා සිටියේ, අල්ලස් කොමිසමේ විරෝධතාව ද සටහන්කරගනිමිනි.

ඒ අනුව අධිකරණය භාරයේ රඳවා තිබෙන විත්තිකරුගේ විදෙස් ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 50 ක් බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරිමට ද අධිකරණය නියෝග කළේය.

කෙසේ වෙතත් නඩු විභාග පැවැත්වෙන සැම දිනකම විත්තිකරු අධිකරණයේ පෙනීසිටීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා ඔහු එක දිනක් හෝ අධිකරණයේ පෙනී නොසිටියේ නම් මෙම නියෝගය අවලංගු කරන බව ද ප්‍රකාශ පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර