අන්තර්ජාල අපහාසයට එරෙහිව උතුරේ නීතිඥයෝ වීදිබසිති

Image copyright Thinkstock

උතුරේ සියලුම අධිකරණවලට අයත් නීතිඥවරුන් අද (ඔක්.20)වර්ජනයක නිරතවීම හේතුවෙන් නඩු විභාග සියල්ලක්ම කල් දැමීමට සිදුවිණි.

එම වර්ජනයේ අරමුණ වූයේ කිළිනොච්චිය දිසාවිනිසුරු එම්.ආනන්දරාසා විසින් දුන් නඩු තීන්දුවක් අවඥාවට ලක්කරමින් සමාජ වෙබ් අඩවි හරහා පලවූ අපහාසාත්මක ප්‍රවෘත්ති කිහිපයකට විරෝධය දැක්වීමය.

කොඩිගාමම් පොලීසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එම ප්‍රවෘත්ති පළවී තිබුණු අතර එම අපහාසාත්මක ප්‍රවෘත්ති පළ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකකරන තුරු මෙම වර්ජනය ගෙනයන බව උතුරේ නීතිඥ සංගමයේ සභාපති ඇන්ටන් පුනිදනායගම් පැවසීය.

නීතිඥවරුන්ගේ මෙම වර්ජනය නිසා පිට පළාත්වල සිට උතුරේ විවිධ අධිකරණවල නඩු සඳහා පැමිණ සිටි විශාල පිරිසක් අපහසුතාවට පත් වූ බැවින් ඒ පිළිබඳව කණගාටුවන බවත් කී නීතිඥ පුනිදනායගම්, විනිසුරුවරුන් මෙවැනි අසාධාරණ අපහාසවලට ලක් නොවිය යුතු බව ද පෙන්වා දුන්නේය.

බීබීසී යෙන්