මන්ත්‍රී වාහන බලපත්‍රය ජාවාරමක් -ජවිපෙ

Image caption තීරු බදු රහිත වාහන බලපත්‍රය විකුණා වාහනයක් මිල දී ගැනීමට මුදල් සොයා ගත් බව ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි

වසර පහකට වරක් මැති ඇමතිවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දීම තුළින් ජාවාරමකට ඉඩ කඩ සලසා ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

බොහෝ මන්ත්‍රීවරුන් වසර පහකට වරක් ලැබෙන වාහන බලපත්‍රය විකුණා විශාල මුදලක් සරි කර ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී වසන්ත සමරසිංහ බීබීසීයට ප්‍රකාශ කළේය.

මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන් වාහන බලපත්‍රය විකුණන බවට පළ වූ වාර්තා අසත්‍ය විය හැකි බවය.

කෙසේ නමුත් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා තමන්ගේ වාහන බලපත්‍රය විකුණා මුදල් ලබා ගත් බව බීබීසීය කළ විමසීමකදී පිළිගත්තේය.

තමන්ට එය විකිණීමට සිදු වූයේ වාහනයක් ගෙන්වා ගැනීමට වත්කමක් නොමැති නිසා බව ඔහු පැවසීය.

තීරු බදු රහිත වාහන බලපත්‍රය විකුණා වාහනයක් මිල දී ගැනීමට මුදල් සොයා ගත් බව ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ කියා සිටියේ වාහන බලපත්‍රය වෙනුවට ආණ්ඩුවෙන් වාහනයක් ලබා දෙන්නේ නම් මෙවැනි තත්වයක් උදා නොවන බවය.

'එහෙමනම් මේ අල්ලස් දීමක්නේ කරන්නේ. වාහනයක් ගන්න බැරි කෙනාට ආණ්ඩුවෙන් වාහනයක් දුන්න නම් ඉවරයිනේ. ජාවාරමක්නේ මෙතන සිද්ධ වෙන්නේ. බලපත්‍රයක් දෙනවා ඉතා විශාල වාහනයක් ගෙන්වන්න පුළුවන් එකක්. එතකොට මොකද කරන්නේ, ඒක විකුණලා වාහනේකුත් අරන් තවත් ලක්‍ෂ සීයක් විතර සාක්කුවේ දාගන්නවා.' ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්