යාපනය සිසු මරණ හෙලා දකිනවා - TNA

යාපනයේ කන්කසන්තුරේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාමේ සිදුවීම දැඩිව හෙලා දකින බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ත්‍රිකුණාමලයේදී හමු වූ අවස්ථාවේ විපක්ෂනායක ආර් සම්බන්ධන් ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බවත්, ඉන් අනතුරුව පොලිස්පතිවරයා අමතා සිය අප්‍රසාදය පළ කළ බවත් දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඉන් අනතුරුව සිසුන්ගේ මරණය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපතිවරයා පොලිසියට නියෝග කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලිසිය විසින් සැකපිට පොලිස් නිලධාරීන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් පස්දෙනාගේ සේවය අත්හිටුවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ ශිෂ්‍යයන් දෙදෙනා මියයාම සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබේ.

ශිෂ්‍යයන්ගේ මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අවසාන විනිශ්චයක් ලබා දී නැති බවයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කළේ.

උතුරේ පමණක් නොව දකුණේත් මේ හා සමාන සිදුවීම් වාර්තා වන බව සඳහන් කළ ආරක්ෂක ලේකම්වරයා, සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව අවධාරණය කළේය.

සිය පුතා හදිසි අනතුරකින් මියගිය ලකුණු ඔහුගේ මළසිරුරේ දක්නට නොලැබුණු බැවින් ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බව මියගිය එක් සිසුවකුගේ පියා වන එස් විජයකුමාර් බීබීසී සංදේශයට පැවසීය.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී එක් සිසුවකුගේ සිරුර තුල තිබී වෙඩි උණ්ඩයක් හමු වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් බීබීසීය කළ විමසීමකදී සනාථ කළේය.

සිසුන් දෙදෙනා හදිසි අනතුරකින් මරුමුවට පත් වූ බවයි, යාපන පොලිසිය මීට ඉහතදී සඳහන් කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර