ඉදිරියේදී ගස් කැපීමට මගේ අනුමැතිය ගත යුතුයි - ජනාධිපති

ශ්‍රී ලංකාවේ 29% ක වන ඝනත්වය ඉදිරි තුන් වසර තුළ 32% දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

රට පුරා සිදුවන වන විනාශය වැළැක්වීමට පියවර ගන්නා බවට ද, පරිසර විෂය භාර අමාත්‍යධුරය දරන ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (ඔක් 21) ත්‍රිකුණාමලයේ පැවති ජාතික රුක් රෝපණ දිනය සැමරීමේ උත්සවයක් අමතමිනි.

ඔක්තෝම්බර් මාසයේ රට පුරා දියත් කිරීමට සැලසුම් කොට ඇති 'වන රෝපා' වැඩසටහන ත්‍රිකුණාමලයෙන් ආරම්භ කෙරෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නව චක්‍රලේඛයක්

ස්වභාවික සම්පත් වැනසීම රටක් ජාතියක් විනාශකර දැමීමේ ක්‍රියාවක් බව පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ බලපත් රහිතව හෝ බලපත් සහිතව සිදුකෙරෙන වන විනාශයට තමන් එකඟ නොවන බවය.

ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ගස් කැපීමට නම් අදාළ රජයේ නිලධාරීන්ගේ සහ ආයතනවල අනුමැතියට අමතරව රටේ ජනාධිපතිගේ අවසරය ලබාගත යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැලි ප්‍රමාණයෙන් 50% ක් රජයේ බලපත් සහිතව සැපයෙන නමුත් ඉතිරි 50% ම පොළොවෙන් ලබාගන්නේ නීති විරෝධී ලෙසින් බව පෙන්වා දුන් ජනපති කියා සිටියේ ගොඩනැගිලි ඉදිකිරීමට මෙතරම් ස්වභාවික සම්පත් භාවිත නොකොට ඒ වෙනුවට වෙනත් ආදේශක භාවිත කිරීමට කාලය එළඹ ඇති බවය.