උතුරේ පොලිස් නිලධාරීන්ට එල්ල වූ ප්‍රහාරය: 'කප්පම් සිද්ධියක්'

'චුන්නාකම්හිදී පොලිසියේ දෙදෙනකුට ප්‍රහාරයක්'
Image caption තුවාල ලත් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා යාපනය මහ රෝහලට ඇතුළත් කොට තිබේ

යාපනයේ චුන්නාකම් නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇත්තේ කප්පම් ගැනීමේ සිද්ධියක් සමථයකට පත් කිරීමට යාමේදී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කඩ සාප්පුවකින් කප්පම් ගැනීම සඳහා අංක තහඩු නොමැති යතුරුපැදිවලින් පැමිණි මුහුණ ආවරණය කර ගත් පුද්ගලයන් හය දෙනකු සහ සාප්පු හිමිකරු අතර ගැටුමක් හට ගෙන ඇති බවත් ඒ අසල රාජකාරියේ යෙදී සිටි නිරායුධ පොලිස් නිලධාරීන් තිදෙනකු එම ගැටුම සමථයකට පත් කිරීමට උත්සාහ කොට ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එහිදී කප්පම්කරුවන් පොලිස් නිලධාරීන්ට පහර දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය බරපතළ නොවන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පොලිස් වෙඩි තැබීමකින් මරුමුවට පත් වූ බව පැවසෙන යාපනය සරසවි සිසුන් දෙදෙනාගෙන් එක් අයකුගේ නිවස වෙත යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ප්‍රහාරය සිදු වී ඇති බව යාපනය පොලිසියේ නිලධාරියෙක් මීට ඉහතදී සංදේශයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර