'සිංහල ගීතය මුදල් ගසා කන මාෆියාවක්'

Image copyright Daily News
Image caption සාහිත්‍ය කලා විචාරක මහාචාර්ය සමන්ත හේරත්

සිංහල ගීතය තවදුරටත් කලාවක් නොවන බවත් එය 'මුදල් ගසා කන මාෆියාවක්' බවත් සාහිත්‍ය කලා විචාරක මහාචාර්ය සමන්ත හේරත් පවසයි.

සිංහල ගීතය මේ තත්වයට ඇද වැටීමට ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය අපහරණය සහ අවභාවිතය හේතු වී ඇති බව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේය.

'ගීතය කියන කලාවේ ඉතිහාසය අරගෙන බැලුවොත් ආරම්භයේ මේක විදග්ධ පර්ෂද මධ්‍යයේ සාකච්ඡාවට ගැනුණු කලාවක් නොවෙයි. පසුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ගීතය අධ්‍යයනය කරන්න පටන්ගත්ත. නිබන්ධන ලියන්න පටන්ගත්ත. නමුත් එය තවදුරටත් ගීතය කලාවක් නොවෙයි. අද මේ සම්පුර්ණ ගීත නිර්මාණය කියන එක තනිකරම වෙළඳ ව්‍යාපාරයක් බවට පත්වෙලා විතරක් නොවෙයි මේක එක්තරා විදියක මුදල් ගසා කන මාෆියාවක් බවට පත්වෙලා තියනව. මේකට ප්‍රධාන වශයෙන්ම ලංකාවේ විද්‍යුත් මාධ්‍ය අපහරණයේ යෙදීම, අවභාවිතා කිරීම හේතුවෙලා තියනව. ඒ නිසා ගීතය කියන්නෙ තවදුරටත් කලාවක්, සාහිත්‍ය අංගයක් නොවෙයි.' ගීත රචක මහාචාර්ය සමන්ත හේරත් පැවසීය.

ඔහු සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වුණේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා කලා සංසදයේ ආරාධනාවක් මත දේශනයක් සඳහා ලන්ඩනයට පැමිණ සිටින අතරතුර බීබීසී මැදිරියට ගොඩ වැදුණු අවස්ථාවේදී ය.

ශ්‍රී ලාංකිකයන්ගේ සාහිත්‍ය රසඥතාව ද පිරිහෙමින් පවතින බවත් හොඳ විචාර කලාවක් නොතිබීම ඊට හේතු වී ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨයේ මහාචාර්යවරයා පවසයි.

'රසඥතාව පිළිබඳව පරිහානි පථයට ඇදවැටීමක් තියනව. ඒක අපිට නැහැ කියන්න බැහැ. ප්‍රධාන වශයෙන්ම මේකට වගකිව යුතු එක ආයතනික ව්‍යුහයක් හැටියට මම දකින්නේ ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය. ජනමාධ්‍ය මගින් කෙරෙන සංස්කෘතික පරිහානිය ලංකාවේ ඉතා පැහැදිලිව දකින්න තියන දෙයක්. කුඩා දරුවන් තුළ පමණක් නොවෙයි වැඩිහිටියන් තුළ වුනත් අපි කොහොමද හොඳ සාහිත්‍ය හඳුනාගන්නේ? හොඳ කලාව හඳුනාගන්නෙ , හොඳ වේදිකා නාට්‍යයක්, හොඳ සිනමා කෘතියක් අපි හඳුනා ගන්නෙ කොහොමද . මේවට නිර්ණායක තියනව.'

'සාහිත්‍ය නිර්මාණකරුවන් වගේම හොඳ සාහිත්‍ය විචාරයක් තියෙන්න ඕන. අද සාහිත්‍ය විචාරය පිළිබඳවත් තෘප්තිමත් වෙන්න බැහැ ලංකාවේ. මේක එක්තරා විදියක ප්‍රචාරයක්, ජනමාධ්‍ය මුල්කර ගත්ත ප්‍රචාරයක්. ඒ නිසා හොඳ විචාර කලාවකුත් නැහැ. අනිත් පැත්තෙන් ජනමාධ්‍ය මේ සම්බන්ධව කටයුතු කරන ආකාරය පිළිබඳවත් තෘප්තිමත් වෙන්න බැහැ.' මහාචාර්ය සමන්ත හේරත් ප්‍රකාශ කළේය.

බීබීසී යෙන්