නව ක්‍රිකට් ගිවිසුම සූදුවක් - අර්ජුන

අර්ජුන රණතුංග Image copyright AFP

තරග ජයග්‍රහණයේදී වැඩිපුර මුදල් පිරිනැමෙන නව ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග දැඩි විවේචනයට ලක්කරයි.

අද (ඔක්.24) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් ගිවිසුම පිළිබඳව මාධ්‍ය වේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු නව ක්‍රමය හඳුන්වා දුන්නේ සූදුවක් ලෙසිනි.

"ක්‍රිකට් ගිවිසුම් හදනකොට ක්‍රීඩකයින් ආරක්ෂා වන විදියේ ගිවිසුම් හදන්න ඕන. ක්‍රීඩකයකුට කියනවා නම් තමන්ගේ රට නියෝජනය කරලා ටෙස්ට් තරගයක් දින්නම වැඩියෙන් මුදල් දෙනවා කියලා ඒක අනුමත කරන්න බැහැ. එතකොට ක්‍රීඩකයින් බලන්නේ රට නියෝජනය කරනවට වඩා තරග දිනලා සල්ලි හම්බ කරන්න" යැයි ඔහු පැවසීය.

මෙය පාසල් ක්‍රීඩකයින්ට වැරදි පූර්වාදර්ශයක් සපයන පියවරක් ලෙස ද හඳුන්වා දුන් ඔහු පැවසුවේ,

"මේකේ බරපතල කාරණය තරගයක් දින්නොත් වැඩිපුර සල්ලි ලැබෙනවා කියන ආකල්පය පාසල් දරුවන් අතරටත් යන්න පුළුවන්. එහෙම වුණොත් අපිට රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සොයා ගන්න අපහසු වෙයි. අද මේ කරන්නේ ක්‍රීඩාව නෙවෙයි සූදුව"යනුවෙනි.

මුදල් සහ තරග ජයග්‍රහණ

නව ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම ක්‍රීඩාවේ යහපතට හේතු නොවන බව පෙන්වාදෙන හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, අද බලධාරීන් ක්‍රිකට් පරිපාලනය ගෙනයන්නේ ක්‍රීඩකයන් එක් ලකුණකට ලබාගන්නා මුදල් ප්‍රමාණය සළකා බලමින් මුදල පෙරදැරිව බවට ද චෝදනා නැගීය.

"ඒ විතරක් නෙමෙයි ක්‍රීඩකයෝ ගැන කථා කරන හැටි බලන්න. අපි දැක්කා පසුගියකාලේ එක ලකුණකට රුපියල් කීයද කියලා කියනවා. අමතක කරන්න එපා මේ ක්‍රීඩකයෝ තමන්ගේ ජීවිතයම කැප කරන්නේ ක්‍රීඩාවට. පාසල් කාලයේ ඉඳලම එහෙමයි. මම දන්නවා ක්‍රීඩකයෙක් කොච්චර කැපවීම් කරනවද කියලා. උදේ ගියාම ගෙදර යන්නේ රෑට. එවැනි ක්‍රීඩකයෙක්ට ලකුණකට රුපියල් කීයද? කඩුල්ලකට රුපියල් කීයද? කියලා කියමින් ඒ වගේ පහත් තත්ත්වයට දාන්න හොඳ නැහැ. මං කණගාටු වුණා ඒක දැක්කම"

ලෝක කුසලානය හෝ වෙනත් විශේෂ තරගාවලියක් ජයග්‍රහණයකරන අවස්ථාවේ ක්‍රීඩකයන්ට වැඩි මුදලක් ගෙවීම පිළිබඳව තමන් විරුද්ධ නොවුව ද, එය සෑම තරගයකටම වලංගු කිරීම යෝග්‍ය නොවන බව අර්ජුන රණතුංග පවසයි.

එවිට ක්‍රීඩකයන් රට වෙනුවෙන් තරග ජයග්‍රහණය කිරීම පසෙක ලා මුදලට තරග ජයග්‍රහණය කරන හැඟීමක් නව කොන්ත්‍රාත් ක්‍රමයෙන් ඇතිවන බව ද ඔහු කියා සිටී.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර