කොප්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවෙන් නැගිට යයි

මහා බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළ කෝප් කමිටු වාර්තාව සැකසීමේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ගේ පිළිවෙත හමුවේ තමන්ට එකඟවිය නොහැකි කරුණු මත, ඔවුනට රිසි පරිදි තාවකාලික සභාපතිවරයකු යටතේ අදාළ වාර්තාව සකස්කරගන්නා ලෙස දන්වමින් අද (ඔක්.24) පැවැති රැස්වීමෙන් ඉවත්වූ බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තමා විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පත සංශෝධනය කොට වාර්තාවක් සැකසිය යුතු බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෝප් කමිටු සාමාජිකයන්ගේ මතය වී ඇති බවය.

"විගණකාධිපතිවරයාගේ නිගමන මත පදනම් වී තමයි අපි මේ පරීක්ෂණ සිදු කරන්නේ. විගණකාධිපතිවරයාට බලපෑම් කරලා ඔහුගේ නිර්දේශ වෙනස් කරන්න මට අයිතියක් නැහැ." යැයි පැවසූ ඔහු, විගණකාධිපතිවරයාගේ නිගමනය පිළිගැනීමට සුදානම් නොමැති නම් තම මතය දැනුම් දීමට පමණක් කාරක සභාවට හැකියාව පවතින බව පෙන්වා දෙයි.

කෙසේවෙතත් විගණකාධිපතිවරයාගේ නිගමන ඉවත්කොට වෙනත් වාර්තාවක් සැකසීමට අවශ්‍ය නම් එජාපය නියෝජනය කරන සාමාජිකයකු කෝප් සභාපති ධුරය සඳහා තාවකාලිකව පත්කොට එජාපයට අවශ්‍ය ආකාරයට වාර්තාවක් සකසා දෙන ලෙස තමා ඔවුන්ට දන්වා සිටි බව ඔහු කීය.

"මම මෙතෙක් කල් මේ කමිටුව තුළ කටයුතු කළේ පොදුවේ කවුරුන් හෝ බේරීමට හෝ වරදකරුවෙක් කිරීමට නොවෙයි. බැඳුම්කර ගනුදෙනුවේදී ඇත්තටම මොකක්ද වෙලා තිබෙන්නේ කියන කාරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න." යැයි සඳහන් කළ හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා, තමා තවදුරටත් කෝප් කමිටු සභාපති ධුරයේ සිටිය යුතුද නැද්ද යන්න පාර්ලිමේන්තුව විසින් තීන්දු කරනු ලැබිය යුතු බව පෙන්වා දුනි.