කේපීට විදෙස්ගත වීම තවදුරටත් තහනම්

කොටි සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන් Image copyright INTERPOL INDIA
Image caption 'කොටි සංවිධානයට මුදල් රැස්කිරීම සහ අවි ආයුධ මිලදී ගැනීම' සම්බන්ධයෙන් කුමාරන් පද්මනාදන්ට චෝදනා

කොටි සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (ඔක්.25) නියෝග කළේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු එස් තුරෛරාජා විසින් මෙම නියෝගය කරනු ලැබිණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ කොටි සංවිධානයට මුදල් රැස්කිරීම සහ අවි ආයුධ මිලදී ගැනීම සම්බන්ධයෙන් කුමාරන් පද්මනාදන්ට චෝදනා රැසක් එල්ල වී ඇති බවය.

ඊට අමතරව අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් කුමාරන් පද්මනාදන් අත් අඩංගුවට ගන්නැයි දන්වා ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තු නිකුත් කර ඇතැයි ද පෙත්සමෙන් පෙන්වා දී ඇත.

එහෙත් මෙරට පොලිසිය ඔහු අත් අඩංගුවට ගැනීම හිතාමතාම මග හරිමින් සිටින බවයි පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ.

මේ හේතුවෙන් කුමාරන් පදමනාදන් අත් අඩංගුවට ගෙන නිසි අධිකරණයක් වෙත ඉදිරිපත් කරන්නැයි පොලිස්පතිවරයා වෙත නියෝගයක් පනවන මෙන් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

පෙත්සම අද කැදවූ අවස්ථාවේදී විනිසුරුවරයා කියා සිටියේ එය සලකා බැලීම සඳහා ලබන දෙසැම්බර් මස 15 වනදා කැඳවන බවය.

ඒ අනුව කුමාරන් පද්මනාදන් වෙත පනවා තිබෙන විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස 16 වනදා තෙක් තව දුරටත් දීර්ඝ කරන බවයි අධිකරණ නියෝග කළේ.

බීබීසී යෙන්