ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන දේශපාලකයෝ

ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන දේශපාලකයෝ Image copyright Getty Images

දේශපාලනඥයන් වෙත යොමු කෙරෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම ඔවුන්ගේ වෘත්තිය වගකීමක් වුවත් බොහෝ මහජන නියෝජිතයන් ප්‍රශ්නවලට පිළිතුරු ලබානොදෙන බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

මහජන නියෝජිතයන් වෙත යොමු කෙරෙන ප්‍රශ්නවලට ඔවුන් පිළිතුරු දෙන ආකාරය පිළිබඳ අධ්‍යනයක් සිදු කරනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයක අධ්‍යාපන විද්‍යාඥයකු විසිනි.

දේශපාලන නායකයකු වෙත යොමු කෙරෙන ප්‍රශ්නවලින් 46% කට පමණ සාමාන්‍යයෙන් පිළිතුරු ලැබෙන බව යෝර්ක් විශ්ව විද්‍යාලයේ ආචාර්ය පීටර් බුල් පවසයි.

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ වෙත බීබීසීයේ ඇන්ඩ්රූ මාර් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලින් 14% කට පමණක් ඇය පිළිතුරු ලබා දී ඇති බව එම අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.

පිළිතුරු මග හැරීම සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනිය විසින් යොදා ගනු ලබන උපාය උපක්‍රම පිළිබඳ ආචාර්ය පීටර් බුල් විස්තර කරයි.

"ඇය යොදා ගන්නා එක්තරා ක්‍රමයක් පිළිබඳව මම අධ්‍යයනය කළා. ඒක තමයි විශේෂිත වූ ප්‍රශ්නවලට විශේෂිත නොවූ පිළිතුරු සැපයීම. උදාහරණයක් වශයෙන් ස්කොට්ලන්තය දෙවන ජනමතවිචාරණයකට යාම නැවැත්වීමට ඇය කටයුතු කරනවද කියන ප්‍රශ්නය යොමු කළ අවස්ථාව පෙන්වන්න පුළුවන්"

"දෙවන ජනමතවිචාරණයකට යනවද නැද්ද කියල අගමැතිවරිය කියන්නෙ නැහැ. ඇය කරන්නෙ දෙවන ජනමතවිචාරණයක් අවශ්‍යද නැද්ද කියන කාරණය සහ එවැනි ඉල්ලීමක් පවතිනවාද කියන දේ පිළිබඳ විස්තර කිරීම. ඒක අහපු ප්‍රශ්නයට පිළිතුර නොවෙයි."ආචාර්ය පීටර් බුල් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව

Image copyright Getty Images
Image caption "පසුගිය කාලයේ විපක්ෂයේ සිටි මන්ත්‍රීවරු, දුරකථනය හරහා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අය, අද ඇමතිවරු වෙලා දුරකථනයෙන්වත් සම්බන්ධ කර ගන්න නොහැකි තත්වයක් තිබෙන්නේ,"

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් වෙත යොමු කෙරෙන ප්‍රශ්න සඳහා පිළිතුරු නොලැබෙන තත්වයක් සාමාන්‍යයෙන් දැකිය හැකි බව බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් පවසයි.

"දේශපාලනඥයන්ට වාසිදායක දෙයක් නම් ඔවුන් වහා පිළිතුරු ලබා දෙනවා. ආණ්ඩුවට අවාසිදායක දෙයක් නම් එය බොහෝ විට මග හරින්න උත්සාහ කරනවා. මෙම තත්වය වත්මන් ආණ්ඩුවේ වගේම පැවති ආණ්ඩුව තුලත් දකින්න ලැබුණා,"

ඇතැම් අවස්ථාවල ආණ්ඩුවේ දේශපාලනඥයකුට ප්‍රශ්නයක් යොමු කළ විට රජයේ මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් වෙනත් ප්‍රශ්නයක් යොමු කොට අදාළ ප්‍රශ්නය යටපත් කරන ස්වභාවයක්ද දක්නට ඇති බව අසාම් අමීන් කියා සිටියේය.

එසේම ඇතැම් කැබිනට් මාධ්‍ය හමුවලදී දේශපාලනඥයන් වෙත යොමු කරන ප්‍රශ්න සඳහා සොයා බලා පසුව පිළිතුරු දෙන බව පැවසුවත් ඒ සම්බන්ධයෙන් යළි කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බවත් ඔහු පැවසීය.

බලයේ සිටින විට

Image copyright Getty Images
Image caption "පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඇමතිවරු ලෙස කටයුතු කළ පුද්ගලයන් එවකට දුරකථනය හරහා හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුනා. දැන් මන්ත්‍රීවරුන්ව සිටියදී ඉතා පහසුවෙන් ඔවුන් සම්බන්ධ කර ගත හැකි තත්වයක් තිබෙන්නේ,"

"නැතිනම් කියනවා ඒ කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක්, අධිකරණයේ නඩුවක් විභාග වෙනවා, ඒ නිසා ප්‍රකාශයක් කරන්න බැහැ කියනවා. එවැනි අවස්ථාවල මාධ්‍යවේදීන් වශයෙන් අපට වෙනත් කරන්න දෙයක් නැහැ,"

මේ අතර ආණ්ඩු පක්ෂයේ සිටියදී ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදුන් ඇතැම් දේශපාලනඥයන් විපක්ෂයට ගිය විට ප්‍රශ්නවලට යුහුසුලුව පිළිතුරු ලබා දෙන තත්වයක් දැකිය හැකි බවත් බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් වැඩිදුරටත් කියා සිටියේය.

"පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඇමතිවරු ලෙස කටයුතු කළ පුද්ගලයන් එවකට දුරකථනය හරහා හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුනා. දැන් මන්ත්‍රීවරුන්ව සිටියදී ඉතා පහසුවෙන් ඔවුන් සම්බන්ධ කර ගත හැකි තත්වයක් තිබෙන්නේ,"

"ඒ වගේම පසුගිය කාලයේ විපක්ෂයේ සිටි මන්ත්‍රීවරු, දුරකථනය හරහා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අය අද ඇමතිවරු වෙලා දුරකථනයෙන්වත් සම්බන්ධ කර ගන්න නොහැකි තත්වයක් තිබෙන්නේ,"

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්