ඕමානයේ ශ්‍රම සූරා කෑමේ ජාවාරමට ගොදුරු වන ශ්‍රී ලාංකිකයන්

ජාවාරම්කරුවන් විසින් ඔමානයේ දී ශ්‍රම සුරා කෑමට ගොදුරු කරගනු ලබන ගෘහ සේවිකාවන් අතර ශ්‍රී ලාංකික කාන්තාවන්ද වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඕමාන් හි පවතින ලිහිල් වීසා රෙගුලාසි හේතුවෙන් එරට සංචාරයට යන බව පවසමින් වීසා බලපත් ලබා ගන්නා පුද්ගලයන්ට රටට ඇතුළු වීමෙන් පසු රැකියා වීසා බලපත් වලට මාරු වීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා පිළිබඳ සාමාන්‍ය අධිකාරී ගාමිණි සෙනරත් යාපා පවසයි.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ශ්‍රී ලංකාවෙන් සහ අනිකුත් රටවලින් ගෙන්වා ගනු ලබන ගෘහ සේවිකාවන් දේශ සීමාව තරණය කරවා ඕමානය වෙත ගෙන යාමේ ජාවාරමක් පවතින බව ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාව ඇතුළු තවත් ආසියාතික රටවල කාන්තාවන් රැකියා සඳහා අවශ්‍ය වීසා නොමැතිව ඔමානයට යැවීමේ ජාවාරමක් පිළිබඳ 'ඕමාන් ටයිම්ස්' පුවත්පතේ පළ වූ ලිපියක් සම්බන්ධයෙන් බීබීසි සංදේශය කළ විමසුමකට පිළිතුරු සපයමිනි.

ලිහිල් වීසා රෙගුලාසි

ශ්‍රී ලංකා විදේශ රැකියා කටයුතු භාර අමාත්‍යවරිය තලතා අතුකෝරල ඕමානයේ සංචාරයක නිරත වූ අවස්ථාවක මෙම ගෘහ සේවිකා ජාවාරම සම්බන්ධයෙන් එරට රජය සමග සාකච්ඡා පැවැත්වූ බව ගාමිණි සෙනරත් යාපා පැවසුවේය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ එම සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස ඔමානයට සංචාරක වීසා මත පැමිණෙන විදේශිකයන්ට රැකියා වීසා බලපත් වලට මාරුවීමට ඇති ඉඩකඩ ඇහිරීමට ඕමාන රජය ක‍ටයුතු කරන බවට එකඟතාව පළ කොට තිබෙන බවය.

ඊට අමතරව යම් කිසි ශ්‍රී ලාංකිකයකු එලෙස ඕමාන සංචාරක වීසා බලපත්‍රයක් රැකියාවක් වෙනුවෙන් වෙනස් කිරීමට ඉල්ලුම් කළ අවස්ථාවක ඊට අනුමැතිය ලබා දීමට පෙර ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගැනීමට ඕමාන රජය එකඟ වී තිබේ.

මේ වන විට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සුරක්ෂා නිවසට දේශ සීමා තරණය කොට පැමිණ ගැටළු වලට මුහුණ දුන් ලාංකික ගෘහ සේවිකාවන් සෙවන පතා පැමිණ සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා පිළිබඳ සාමාන්‍ය අධිකාරීවරයා හෙළි කළේය.

සංචාරක වීසා බලපත් ලබාගෙන රැකියා සඳහා මැදපෙරදිගට නොයන ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇති බව ඔහු පවසයි.