CSN: ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්ට අධිකරණ නියෝගයක්

සි.එස්.එන් Image copyright CSN

විකාශන බලපත්‍රය අවලංගු කර තිබෙන සි.එස්.එන් රූපවාහිනි නාලිකාවේ සංඛ්‍යාත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා මෙන් අභියාචනාධිකරණය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට නියම කළේය.

අධිකරණය එසේ නියෝග කළේ සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීමට එරෙහිව එම රූපවාහිනි නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීමට රජය කටයුතු කළ බව සි.එස්.එන් සමාගම අධිකරණයට දන්වා සිටියේය.

අදාළ තීන්දුව ගැනීමට පෙර ජනමාධ්‍ය අමාත්‍යාංශය තමන්ගෙන් නිදහසට කරුණු විමසීමක් හෝ සාධාරණ විභාගයක් පැවැත්වීමට කටයුතු නොකළ බවටද සි.එස්.එන් සමාගම සිය පෙත්සමෙන් චෝදනා කර තිබේ.

ඒ හේතුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ගත් ක්‍රියාමාර්ගය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන මෙන්ද පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අධිකරණය පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර ලබා දෙමින් ඊට අදාළ කරුණු දැක්වීම් නොවැම්බර් 16 වනදා සිදු කරන ලෙස දන්වා එහි වග උත්තරකරුවන් ලෙස නම්කර තිබෙන ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පාර්ශවයන්ට නොතීසි නිකුත් කළේය.

ඒ දක්වා අදාළ රූපවාහිනි නාලිකාවට අයත් සංඛ්‍යාත වෙනත් පාර්ශවයකට ලබා දීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස අධිකරණය ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට නියම කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්