කිලිනොච්චියට පසු වැඩිම විරැකියාව කෑගල්ලේ - කබීර් හෂීම්

Image caption උසස් පෙළ හැදෑරීමට ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුටම අවස්තාව ලබා දෙනවා - අමාත්‍ය කබීර් හෂීම්

ශ්‍රී ලංකාවේ විරැකියා ප්‍රතිශතය අතින් කෑගල්ල දිස්ත්‍රික්කය දෙවැනි වන්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයට පමණක් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් පවසයි.

ගොඩනැඟිළි සහ වෙනත් අධ්‍යාපන දත්ත වලින් මුලා වී 'පම්පෝරි ගැසීමට' තමා සූදානම් නැති බවත් දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරයා සඳහන් කළේ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ නව සිව්මහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

"කෑගල්ල අධ්‍යාපන කළාපයේ මුළු පාසල් ගණන 165 යි. එයින් 95 ක විතරයි සාමාන්‍ය පෙළ තියෙන්නෙ. මේ 165 න් 49 ක විතරයි උසස් පෙළ තියෙන්නෙ," අමාත්‍යවරයා පැවසීය.

"එතකොට සෑම දරුවකුටම අවස්ථාවක් නැහැ කියන එක පැහැදිළියි. මම දේශපාලකයෙක් හැටියට කියන්නෙ මේ තත්ත්වය වෙනස් කරන්න අධ්‍යාපන බලධාරීන්ට මැදිහත් වන ලෙසයි."

Image caption ශාන්ත ජෝෂප් බාලිකාවේ සාමාන්‍ය පෙළ දත්ත ඉතා ඉහළ මට්ටමක පවතින නමුත් 'කළාපයේ දත්ත සමග විශාල පරතරයක්'

මේ වන විට රැකියා වෙළඳපොල අභියෝගයට සරිලන ලෙස අධ්‍යාපනය සකස් වි ඇද්ද යන්න කල්පනා කළ යුතුව ඇතැයි පැවසූ අමාත්‍ය කබීර් හෂීම්, ඒ වෙනුවෙන් සෑම දරුවකුටම උසස් පෙළට පෙනී සිටීමට හැකිවන අයුරින් ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය පළ වී තිබෙන බවත් පැවසීය.

පාසලක් භෞතික සම්පත්වලින් පමණක් පිරවීම ප්‍රමාණවත් නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා, අරනායක ප්‍රදේශයේ පාසලක් නිරීක්ෂණය කළ අවස්ථාවේ එහි පරිගනක 60 ක් තිබෙනු දුටු නමුත් එම විෂය ඉගැන්වීම සඳහා පාසලේ එකදු ගුරුවරයෙක්වත් නොමැති බවත් පැවසීය.

ශාන්ත ජෝෂප් බාලිකාවේ සාමාන්‍ය පෙළ දත්ත ඉතා ඉහළ මට්ටමක පවතින නමුත් කළාපයේ දත්ත අතර විශාල පරතරයක් පවතින බවත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන දත්ත කළාපයටත් වඩා අඩු අගයක් ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියද උත්සවයට එක් වී සිටියේය.

සබැඳි විෂයයන්