දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයක්

Image caption ළමුන් රඳවා තබන මධ්‍යස්ථානයක්

ළමුන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ දැනට බලපැවැත්වෙන වගන්ති සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණි.

ශ්‍රී ලංකාවේ දැනට බලපැවැත්වෙන නීතිය අනුව අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව අවුරුදු අටකි.

එහෙත් වයස අවුරුදු අටක් යනු ඉතා ළාබාල වයස් සීමාවක් බව මනෝ වෛද්‍යවරුන් සහ අදාළ ක්‍ෂේත්‍රයන්හි විශේෂඥයන්ගේ මතය වී ඇති හෙයින් එම පවතින නීතිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කරමින් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මේ අනුව වයස අවුරුදු දොළහට වැඩි අවුරුදු දාහතරට අඩු ළමයකුට එරෙහිව චෝදනා ගොනුකර ඇති නඩුවකදී අදාළ වරද සම්බන්ධයෙන් එවැනි බාලවයස්කාර චූදිතයකුට අධිකරණය මගින් දඬුවම් නියම කළ හැකි වන්නේ 'එම වරද සිදුකිරීම සඳහා ප්‍රමාණවත් චේතනාවක් ඇතිකර ගැනීමට එම ළමයා මේරු බුද්ධියකින් යුක්ත' බව මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය වේනම් පමණි.

නව විධිවිධාන ඇතුළත් සංශෝධිත පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද බව වාර්තා වෙයි.