හමුදා බුද්ධි අංශයට නව ප්‍රධානියෙක්

හමුදා බුද්ධි අංශයට නව ප්‍රධානියෙක් Image copyright http://www.army.lk/

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව බුද්ධි අංශ ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක පත් කරනු ලැබ ඇත.

වසර ගණනාවක් අදාළ ධුරයේ කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සාලි ඉන් ඉවත් කොට ඒ වෙනුවට බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක පත් කෙරිණ.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න බීබීසී සිංහල සේවය වෙත දහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ බ්‍රිගේඩියර් සුරේෂ් සාලි ඔහු අයත් රෙජිමේන්තුවට මාරු කර යවා ඇති බවය.

පසුගියදා පැවති පුරවැසි බලය සංවිධානයේ මාධ්‍ය හමුවේදී බ්‍රිගේඩියර් සුරේෂ් සාලිගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක්විය.

"කුමන්ත්‍රණයක" යෙදී සිටින හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වහා ඉවත්කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, පුරවැසි බලය යන සිවිල් සමාජ කණ්ඩායම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා සිටියහ.

හමුදා ප්‍රධානීන් අධිකරණයට කැඳවනු ලැබීම සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තැබීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ පොලිසිය විවේචනය කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය සරත් විජේසූරිය පැවසුවේ ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කිරීම සඳහා හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ ක්‍රියාකලාපය ද හේතු වී ඇති බවකි.

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාව සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කළ සිවිල් සංවිධාන හා ජනාධිපතිවරයා අතර හමුවක් ඊයේ (නොවැම්බර් 01) රාත්‍රියේ පැවැත්විණ.

මේ අතර බ්‍රිගේඩියර් සුරේෂ් සාලි හමුදා බුද්ධි අංශ ප්‍රධානී ධුරයෙන් ඉවත් කරන ලෙස සිවිල් සංවිධාන විසින් කරන ලද ඉල්ලීම ඊයේ බොදු බල සේනා සංවිධානයේ දැඩි විවේචනයට ලක් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර