තිස්ස අත්තනායකගේ ඇප ඉල්ලීම ඉවතට

Image caption එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අත්සන යොදා ව්‍යාජ ලියවිල්ලක් ප්‍රසිද්ධ කළ බවට පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි

අධිකරණය නොමග යවන සුළු කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක විසින් ඉදිරිපත් කරනු ලැබූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ මහාධිකරණය ප්‍රකාශ කළේය.

මහ අධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති පනත යටතේ පවරා ඇති මෙම නඩුවේදී ඇප නියම කළ හැක්කේ සුවිශේෂ කරුණු ඉදිරිපත් වන්නේ නම් පමණක් බවයි.

කෙසේ වෙතත් විත්තිකාර තිස්ස අත්තනායකට ඇප ඉල්ලීම් ඉදිරිපත් කළ ඔහුගේ නීතිවේදියා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් තර්ක කළේ පැමිණිල්ලට අදාළ තිස්ස අත්තානායකගේ අත් අකුරු පරීක්ෂණයේ රජයේ රස පරීක්ෂකගේ නිගමන අනුව ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි බවය.

ඊට විරෝධය පලකළ රජයේ නීතිවේදියා රස පරීක්ෂක වාර්තාවල එසේ සඳහන් නොවන බව අධිකරණයට කරුණු දක්වා තිබුණු අතර විත්තිකාර තිස්ස අත්තානයක ඉදිරිපත් කරන කරුණු සුවිශේෂ කරුණු වශයෙන් පිළිගත නොහැකි බවත් ප්‍රකාශ කළේය.

එම විරෝධතා පිළිගත් අධිකරණය කියා සිටියේ විත්තිකරුට ඇප නියම කිරීමට තරම් සුවිශේෂ කරුණු කිසිවක් අනාවරණය නොවන බවය.

විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ සාවද්‍ය කරුණු අන්තර්ගත යැයි චෝදනා කළ විනිසුරුවරිය මේ තුළින් විත්තිකරු අධිකරණය නොමග යැවීමට තැත් කර ඇතැයි ද චෝදනා කළාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර