සවුදියේදී මියගිය කාන්තාව ගැන 'පරීක්ෂණයක්'
සෞදි අරාබියේ දමාම් නුවර රැඳවුම් කඳවුරකදී ශ්‍රී ලාංකික තරුණියක මියයාමට හේතුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
මාස කිහිපයක් මුළුල්ලේ වේතනය නොලැබීම පිළිබඳව දැනුම් දුන් අවස්ථාවේ ඇය සේවය කළ නිවසේ හාම්පුතුන් ඇයට පහර දී, ඉන් අනතුරුව ඇය නීති විරෝධී රැඳවියන් වෙසෙන කඳවුරකට භාර දී ඇති බවත් මියගිය තරුණියගේ මිතුරියෝ පවසති. කෙසේ නමුත් එම චෝදනා ස්වාධීන මාර්ගවලින් සනාත වී නැත.
කරුණු සොයා බැලීම පිණිස තානාපති නිලධාරීන් කඳවුර බලා ගොස් ඇති බවත් සිකුරාදා සෞදි අරාබියේ නිවාඩු දිනයක් බැවින් ඉක්මනින්ම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙනු ඇති බවත් විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල බීබීසී සංදේශයට පැවසීය.
- සෞදි ශ්‍රී ලාංකික කත මරණයෙන් බේරෙයි
- සවුදි යේ පදික වේදිකාවක සීතලේ නිදන ලාංකිකයෝ
- කතුන් සවුදි යාම වැළැක්වීමේ වගකීම ජනාධිපති අතේ - රිසානා ගේ මව
මේ සිදුවීමත් සමඟම ශ්‍රී ලාංකික කාන්තාවන් සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත් කළ යුතුද යන්න ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ යළිත් වරක් සංවාදයක් මතු වී තිබේ.
'එක්වරම නවත්වන්න බෑ'
ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවය සඳහා විදේශ රටවලට පිටත් කරනු වෙනුවට අවම වැටුම ලබාදෙමින් ඔවුන්ට ශ්‍රී ලංකාව තුලම රැකියා සපයා දිය යුතුය යන්න සිය අදහස බවයි, ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ අමාත්‍යවරිය සංදේශයට කියා සිටියේ.

කෙසේ නමුත් ශ්‍රී ලාංකික කාන්තාවන් සවුදි අරාබිය ඇතුළු රටවල ගෘහ සේවය සඳහා පිටත්වීම එක්වරම නැවැත්වීමේ හැකියාවක් නොමැති බවත් අමාත්‍යවරිය පවසන්නීය.
ශ්‍රී ලාංකික කාන්තාවන් ලක්ෂ පහක් පමණ සවුදි අරාබියේ සේවය කරන බව මුලදී විශ්වාස කෙරුණත්, සැබවින්ම එහි සේවය කරන්නේ ලක්ෂ දෙකක පමණ පිරිසක් බව පවසන අමාත්‍යවරිය, "ඒ රජයන් එක්ක හොඳ හිත පතුරුවාගෙන ඒ රටට ගිහිල්ල වැඩ කරපු එක අපිට එක මොහොතින් නවතන්න බෑ," යනුඉවෙන්ද සඳහන් කළාය.
හිරිහැරවලට ලක්වන කාන්තාවන්ට පිහිටවීමට උත්සුක නොවන බවට සහ ඇතැම්විට ඔවුන්ට තවත් හිරිහැර කරන බවට ඇතැම් තානාපති නිලධාරීන්ට එල්ල වන චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේ අමාත්‍යවරිය කියා සිටියේ, ඒ සියලු චෝදනා පිළිබඳව ආණ්ඩුව නිසි අවධානය යොමු කර ඇති බවයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සිටින නිලධාරීන් බහුතරයක් ඉතා කැපවීමෙන් සේවය කරන බවයි, අමාත්‍යවරිය අවධාරණය කරන්නේ.
බරපතල චෝදනා එල්ල වී තිබෙන රැකියා ඒජන්සිකරුවන් පිළිබඳව මෙන්ම වසර දෙකකට ආසන්න කාලයක් කිසිවකුත් රැකියාවට පිටත් නොකළ ආයතන සම්බන්ධයෙන් නුදුරු අනාගතයේදී විශේෂ පියවර ගන්නා බවත් අමාත්‍ය තලතා අතුකෝරල වැඩිදුරටත් සඳහන් කළාය.