"වංචාකරුවන් අල්ලන්න කෝප් නිර්දේශ අවශ්‍යම නැහැ"

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස
Image caption ''අල්ලස් කොමිසම නඩු පැවරිය යුතුව තිබුණා''

මූල්‍ය වංචාවක් සිදු කොට ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙක් හෝ ආයතනයක් පිළිබඳ සොයා බැලීම සඳහා කෝප් කමිටු නිර්දේශ ලබා දෙන තෙක් බලා සිටිය යුතු නැති බව එම කමිටුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව හා සම්බන්ධ වරදකරුවන්ට දඬුවම් කිරීම සඳහා ආණ්ඩුවට සැබෑ උවමනාවක් තිබුණේ නම් ඒ සඳහා ප්‍රමාණවත් ආයතන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දෙයි.

වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම වැනි ආයතන හරහා ද පරීක්ෂණ සිදු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ බීබීසී සිංහල සේවයට අදහස් දක්වමිනි.

"ආණ්ඩු බලය තිබෙන්නේ ඔවුන් අතේ. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශය, වැනි ආයතන හරහා හීතිය ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ විධායකයට. ඒ නිසා පරීක්ෂණ පවත්වන්න කොප් කමිටු වාර්තාව එන තෙක් සිටිය යුතු නැහැ,"

බැඳුම්කර ගනුදෙනුවේදී වංචාවක් සිදුවී ඇති බවට 2015 වසරේ මාර්තු මාසයේදී යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරයකු වන මහින්ද අමරවීර අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවත් ඔහු පැවසීය.

''ෆවුසි ඇමතිවරයා අමාත්‍යංශ මරු කරනකොට මෝටර් රථයක් ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා. ඊට පෙර මේ රුපියල් බිලියන ගාණක පැටව් ගහන වංචාව පිළිබඳ අල්ලස් කොමිසම නඩු පැවරිය යුතුව තිබුණා,"

කෝප් කමිටුව විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද වාර්තාවට පාද සටහන් එක් කිරීමේ නව සම්ප්‍රදායක් හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂ කමිටු සාමාජිකයන් ඒ හරහා විගණකාධිපතිවරයා අභියෝගයට ලක්කොට ඇති බවත් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

"මේ පාද සටහන් හරහා එජාප කණ්ඩායම පෙන්වන්න උත්සාහ කරන්නේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ වංචාවක් සිදු වූයේ නැති බව සහ අර්ජුන් මහේන්ද්‍රන් මීට සෘජු ලෙස වගකිව යුතු නැහැ කියන කාරණය,"

පාද සටහන් තුළින් එවැනි උත්සහයක් දරනු ලැබුවත් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වගකිව යුතු බවට වූ නිර්දේශයට එක්සත් ජාතික පක්ෂ කමිටු සාමාජිකයන් එකඟ වීම තුළින් පරස්පරතාවක් දැකිය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර