“මල් පොහොට්ටුවට සම්බන්ධයක් නැහැ”

  • 2016 නොවැම්බර් 7

මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් යුතුව ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධවීමේ අදහසක් තමා තුළ නැති බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රමුඛයකුවන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ, නඩු විභාගයක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී බීබීසී කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු බව කී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා, "අලුත් පක්ෂයට සම්බන්ධ වීමේ තීරණයක් මා තුළ නැහැ. එය කණ්ඩායමක් වශයෙන් ගත යුතු තීරණයක් කියලයි මා හිතන්නේ.තනිව එම තීරණය ගන්නේ නැහැ. කොහොම වුනත් අලුතින් පිහිටවූ මල් පොහොට්ටුවට ගම් මට්ටමින් හොඳ ජනතා ප්‍රවණතාවක් තිබෙන බව අපට පෙනී යනවා." යැයි සඳහන් කළේය.

Image copyright FACEBOOK
Image caption පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

එක්සත් ජාතික පක්ෂය සමග පවතින සම්මුති ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන බව ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් ප්‍රකාශකර තිබියදී එම පක්ෂය තුළ රැඳී සිටිය හැකිදැයි කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ඔහු "හවුල් ආණ්ඩුවට අපි විරුද්ධයි. ඒ නිසා ආණ්ඩුවට එකතු නොවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින්න උත්සාහ කරනවා" යැයි ද පැවසීය.

මේ අතර, වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රවාහන ඇමති ධුරයේ සිටි අවදියේදී, ලංකා ගමනාගමන මණ්ඩලයෙහි නොතිබූ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කිරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 32 ට වැඩි අලාභයක් කළ බවට චෝදනා නගමින් ඔහුට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකරන ලද නඩුව ජනවාරි මස 02 වෙනිදා තෙක් කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර