ටිරාන් මුදා හැරේ

Image copyright Getty Images
Image caption අභියාචනාධිකරණය, විත්තිකරු රිමාන්ඩ් භාරයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරිය දුන් නියෝගය නීතියට පටහැනි බව පෙන්වා දුන්නේය

රාඩා ආයතනයේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් වහා මුදාහරින ලෙස අභියාචනාධිකරණය අද (නොවැ. 08) නියෝග කළේය.

එම නියෝගය නිකුත් කෙරුණේ ටිරාන් අලස් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙනි.

සුනාමියෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවට නිවාස සාදා දෙන බව පවසා රුපියල් මිලියන 124ට වැඩි මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස පසුගියදා කොළඹ මහාධිකරණය නියෝග කළේය.

තදබල හෘද රෝගයකින් පසුවන බව විත්තිකරු පවසන හෙයින් එය සත්‍යදැයි අධිකරණ වෛද්‍ය විශේෂඥයින් ලවා තහවුරු කරගන්නා තෙක් ඔහුව රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස රජයේ නීතිවේදියා කරන ලද ඉල්ලීමකට අනුව එම නියෝගය නිකුත් කෙරිණ.

එහෙත් ඊට එරෙහිව අභියාචනාධිකරණයට කරුණු දැක්වූ විත්තියේ නීතිඥයින් පෙන්වා දුන්නේ අසනීප තත්ත්වය තහවුරු කරගන්නා තෙක් විත්තිකරුවකු රිමාන්ඩ් භාරයට පැමිණවීම නීතියට පටහැනි බවය.

එම කරුණු පිළිගත් අභියාචනාධිකරණය, විත්තිකරු රිමාන්ඩ් භාරයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරිය දුන් නියෝගය නීතියට පටහැනි බව පෙන්වා දුන්නේය.

ඒ අනුව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමේ නියෝගය වහා අත්හිටුවීමට නියම කළ අභියාචනාධිකරණය, විත්තිකාර ටිරාන් අලස් බන්ධනාගාරයෙන් මුදාහරින ලෙස ද නියෝග කළේය.

මෙම නියෝගය නිකුත් කිරීමේදී අධිකරණය ඇප කොන්දේසි නොපැණවූ අතර නීතිපතිවරයාගේ සහභාගීත්වයකින් තොරව ඒක පාක්ෂිකව පෙත්සම විභාග කෙරිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර