හුණුවටය: සංහිඳියාවට අලුත් මගක්

හුණු වටය

සාමය තේමා කරගත් නාට්‍යයක් නිපදවා එය උතුරු ප්‍රදේශයේ ප්‍රදර්ශනයකොට 'සංහිඳියාව' ගොඩනැගීමට උත්සාහ දරනු වෙනුවට එම ප්‍රදේශවල ජනතාවගේ හදවතට සමීප සිංහල නාට්‍යයක් පරිවර්තනයකර ප්‍රදර්ශනය කිරීම ඵලදායී බව ප්‍රවීන නාට්‍ය නිෂ්පාදක පරාක්‍රම නිරිඇල්ල පවසයි.

ඔහු මෙසේ පැවසුවේ 'හුණුවටයේ කතාව' නව නිෂ්පාදනයේ පරිවර්තනයවූ 'වෙන්කට්ටි වට්ටම්' නාට්‍යය උතුරේ ප්‍රදේශ කිහිපයක ප්‍රදර්ශනය කෙරෙන අතරේ වවුනියාවේදී බීබීසී සංදේශය සමග සාච්ඡාවකට එක්වෙමිනි.

හුණුවටයේ කතාව නාට්‍යයේ අයිතිය පැහැදිලි කළ පරාක්‍රම නිරිඇල්ල,

"හෙන්රි ජයසේනයන් ඔහුගේ හුණුවටය නාට්‍යයේ අයිතිය මට 2009 වර්ෂයේදී ගිවිසුමක් මගින් පවරා දුන්නා.මම ඉන් පස්සේ බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ ''කොකේෂියන් වයිට් සර්කල්'' මුල් කෘතිය සමග මේක සසඳා බලමින් අවුරුදු දෙකක පමණ කාලයක් පර්යේෂණයක් කළා'' යැයි පැවසීය.

එම පර්යේෂණයේ ප්‍රතිඵලයක් වූ හුණුවටයේ කතාව නව නිෂ්පාදනය පිළිබඳ තවදුරටත් පැහැදිලි කළ ඔහු,''හෙන්රි ජයසේනයන් ඉතාම හොඳ නාට්‍යයක් නිෂ්පාදනය කළත් මම දැක්කා මුල් කෘතියේ සියළුම දේ මේ හුණුවටය කතාවේ ඇතුළත් වෙලා නැහැ කියලා'' යනුවෙන් කියා සිටියේය.

''මේකට හේතුව වුණේ හෙන්රි ජයසේනයන් 1967 දී හුණුවටය නිෂ්පාදනය කරනකොට ශ්‍රී ලාංකිකයින්ට යුද්ධයක් ගැන අවබෝධයක් නොතිබීමයි. මේ නිසා ජර්මනියේ නාසි හමුදාවේ යුදමය තත්ත්වය හෙන්රි ජයසේනයන්ගේ හුණුවටය තුළින් ගිළිහී ගොස් තිබෙනවා.'' යැයි ද පරාක්‍රම නිරිඇල්ල පෙන්වා දුණි.

ඔහුගේ නව නිෂ්පාදනය තුළ යුදමය පරිසරයේ තොරතුරු බහුල අතර වැල්පාලමේ ගීය ඇතුළු සියලු ගීත ද දෙබස් ඛණ්ඩ ද වෙනස් වී ඇත. ඒ අනුව, ''මේකෙදි මට ලොකු චෝදනාවක් ආවා හෙන්රි ජයසේනගේ හුණුවටය නාට්‍ය විකෘති කළා කියලා.'' යැයි ඔහු කීය.

මෙම නව නිෂ්පාදනය සඳහා පාත්‍රවර්ගයා තෝරාගැනුණේ 2003 වසරේදී පරාක්‍රම නිරිඇල්ල විසින් බිහි කරන ලද ජන කරළිය නාට්‍ය කණ්ඩායමෙනි. ඊට අයත්වූ සිංහල හා දෙමළ ශිල්පීන් ඇසුරින් මේ වනවිට නාට්‍ය දහයකට අධික ප්‍රමාණයක් නිපදවා ඇත.

කුලදේ ෂන්මුගලිංගම් විසින් පරිවර්තනය කරන ලද හුණුවටයේ කතාව නව නිෂ්පාදනය යුනෙස්කෝ සංවිධානයේ මුල්‍ය අනුග්‍රහය ලද බව නිරිඇල්ල පැවසීය.

හුණුවටයේ කතාව නව නිෂ්පාදනයේ මෙන් ම එහි දෙමළ පරිවර්තිත නාට්‍යයේ ගෘෘෂා චරිතයට පණ පොවන්නී ලීලාවතී සෙල්වරාජ් නම් තරුණිය ය.

''වෙන්කට්ටි වට්ටම්''දෙමළ නාට්‍ය කරනකොට මට බයක් නෑ...මොකද ඔක්කොම දෙබස් මගෙම භාෂාවෙන්නේ තියෙන්නේ.සිංහල එක කරනකොට පොඩි බයක් දැනෙනවා වරදියි කියලා..ඒත් ටික වෙලාවක් යනකොට ඒක හරි යනවා.'' යැයි වවුනියාවේ පාසල් වේදිකාවක කළ රංගනය අවසානයේදී බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ ලීලාවතී පැවසුවාය.

''සිංහල පළාත්වලට ගිහිං හුණුවටයේ දෙබස් මම සිංහලෙන් කියලා

ඉවර වෙලා අපිව හදුන්වා දෙනකොට තමයි කට්ටිය දන්නේ මම දෙමළ කෙනෙක් කියලා..එයාලට පුදුමයි..මටත් පුදුමයි මම කොහොමද ගෲෂා චරිතයට සාධාරණය ඉටුකරණ ගමන් වෙන භාෂාවක දෙබස් කියන්නේ කියලා. හැඟීම් වලදිත් නිරූපණයෙදිත් මට ප්රශ්නයක් නොවෙන්නේ හුණුවටය දෙමළ නාටය තුළ මම ජීවත් වෙන නිසයි.මට හිතෙනවා මේක දෙන්නෙක් කළානම් සමහර විට අසාර්ථක වෙන්න පුළුවන්'' යනුවෙන් ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.

හුණුවටයේ කතාව නව නිෂ්පාදනයේ දෙමළ පරිවර්තිත නාට්‍යයේ ගෘෘෂාගේ චරිතය දෙස අවධානය යොමුකරන විට ඇය මුහුණ දෙන ගැටලු සියල්ල යුද සමයේදී උතුරු නැගෙනහිර ජනතාව මුහුණ පෑ තත්ත්වයට සමාන බව පරාක්‍රම නිරිඇල්ල පැවසීය.

ඒ හේතුවෙන් ම, උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන අත්දැකීම් විමසා බැලෙන නාට්‍යයක් වශයෙන් 'වෙන්කට්ටි වට්ටම්' නාට්‍යයට එම ප්‍රදේශවල ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඉතා ඉහළ බව ද ඔහු පෙන්වා දුණි.

සිංහල හා දෙමළ ශිල්පීන් ඇතුළත්වීම, ජාතීන් දෙකට ම පොදු සංගීත රටාවක් ඇසුරු කිරීම, අන්තර්ගතය තුළ ජාති භේදය නිරූපණය නොවීම යන කරුණු මත 'වෙන්කට්ටි වට්ටම්' නාට්‍යය සංහිඳියාව ගොඩනැගීමේ සාර්ථක මෙවලමක් බව ද පරාක්‍රම නිරිඇල්ල පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්