'මුස්ලිම් ජනයාට අවශ්‍ය මුස්ලිම් විවාහ නීතිය'

මුස්ලිම් විවාහ

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා රජය ගෙන ඇති තීන්දුවට විරෝධය පළ කොට මුස්ලිම් වැසියන් පිරිසක් ඊයේ (නොවැම්බර් 11) අම්පාර සමන්තුරේදී උද්ඝෝෂණයේ යෙදුනහ.

GSP+ සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ඉදිරිපත් කොට ඇති කොන්දේසි පිළිගෙන අදාළ පනත සංශෝධනය කිරීමට පාලකයන් උත්සාහ කරන බව උද්ඝෝෂණය සංවිධානය කළ ශ්‍රී ලංකා තව්හිජ් ජමාත් සංවිධානය පවසයි.

ඒ හරහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන බවට තව්හිජ් ජමාත් සංවිධානය චෝදනා කරයි.

"ශ්‍රී ලංකා මුස්ලිම් ජනතාවගේ සිවිල් නීතියේ කොටසක් වන මුස්ලිම් විශේෂ නීතියේ ප්‍රධානතම අංගයක් වන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියේ යම් යම් සංශෝධන සිදු කළ යුතුයි කියලා යුරෝපා සංගමය කොන්දේසි පනවලා තිබෙනවා," තව්හිජ් ජමාත් සංවිධානයේ අබ්දුල් රශාක් පැවසීය.

"මුස්ලිම් ජනතාව විවාහ විය යුත්තේ කෙසේද කියලා ශුද්ධ වූ කුරානය අනුව අනුගමනය කිරීම ඉස්ලාම් ධර්මයේ අනිවාර්ය යුතුකමක්, අපට ඕනේ ශ්‍රී ලංකාවේ තිබෙන සිවිල් අයිතිවාසිකම් ඉස්ලාමීය ධර්මානුකූලව ඉෂ්ට කර ගන්නයි " ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීම සලකා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට පසුගියදාකැබිනට් අනුමැතිය හිමි විය.

මුස්ලිම් නීතිය යටතේ විවාහ විය යුතු අවම වයස් සීමාව සහ එම නීතිය යටතේ ආවරණයවන ඇතැම් කරුණු සම්බන්ධ විධිවිධාන ශ්‍රී ලංකාව ද පාර්ශ්වකරුවකුවන ඇතැම් ජාත්‍යන්තර ප්‍රඥප්තිවල නිශ්චිතව දක්වා ඇති නියාම ධර්මවලට අනුකූල නොවන බැවින් එම විධිවිධාන සංශෝධනය විය යැතු යැයි හඳුනාගෙන ඇති බව එහිදී ප්‍රකාශ විණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්