මුහුදු ඛාදනයෙන් බැටකන වයඹ ධීවරයෝ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සයුරේ දියබත්වන වයඹ ධීවර ගම්මාන

  • 2016 නොවැම්බර් 12

වයඹ වෙරළ තීරයේ ප්‍රදේශ ගණනාවක් මුහුදු ඛාදනයට ගොදුරු වීම හේතුවෙන් සිය ජන ජීවිතය අඩාල වී ඇති බව එම ප්‍රදේශවල ධීවර සංවිධාන පෙන්වා දෙති.

ජාතික ධීවර සහයෝගිතාවේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෝයල් පීරිස් පවසන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලියවත්ත දූපත්, මුතුපන්ති, කරුකපනේ සහ මාරවිල සිට උතුරු දෙසට පිහිටි ප්‍රදේශය විශාල වශයෙන් මුහුදු ඛාදනයට ගොදුරු වෙමින් පවතින බවය.

"වෙරළ සංරක්ෂණ අධිකාරිය පොඩි පොඩි ගල් ගෙනත් දාලා මේක තාවකාලික පැලැස්තර දානවා. මේ වෙනකොට ගෙවල් ළඟටම මුහුද ඇවිත් තියෙන්නේ. පොල් ගස් විශාල සංඛ්‍යාවක් මුහුදට විනාශ වෙලා," ඔහු සඳහන් කළේය.

තමන්ට මුහුණ පෑමට සිදු වී ඇති ගැටලු පිළිබඳ බලධාරීන් වෙත පැමිණිලි කළත් ඉන් ඵලක් නොවූ බව ධීවර කාන්තාවක් පැවසීය.

"ඡන්දෙ කාලෙට ඇවිල්ලා ඡන්දෙ අරගෙන යනවා. මීටර් සීයෙන් සීයට ගල්වැටිය දාන්න ඕනි. එහෙම දැම්මේ නැත්නම් මේක දෙවියන්ටවත් නවත්තන්න බැහැ" ඇය සඳහන් කළාය.

"වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව තියෙන්නේ ජනාධිපතිතුමාගේ යටතේ. මේ මුහුදු ඛාදනය වැළැක්වීම සඳහා ස්ථීර ගල්වැටි දාලා දෙන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා," ධීවරයෙක් කියා සිටියේය.

'ඡන්දෙ කාලෙට'

ධීවර සංවිධාන විසින් නගනු ලබන චෝදනා පිළිබඳ වයඹ පළාත් සභාවේ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය සුමල් තිසේරාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ වන විටත් වෙරළ ඛාදනය අවම කිරීම සඳහා විසඳුම් ලබා දෙමින් සිටින බවය.

"ඒ වුනත් මාරවිල සිට කල්පිටිය දූපත් දක්වා මුහුදු ඛාදනය යළි ආරම්භ වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා මුහුදු වැලි ගොඩබිම දෙසට ගොඩ ගැසීමේ ක්‍රමවේදයක් පිළිබඳ සාකච්ඡා කෙරෙමින් යනවා." පළාත් ඇමතිවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට ඇති බවත් විපතට පත් ධීවර පවුල් වෙත සහන සැලසීම සඳහා සිය පළාත් සභාව හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් වයඹ පළාත් සභාවේ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය සුමල් තිසේරා වැඩිදුරටත් කියා සිටියේය.