‘ආවා’ කල්ලියට දෙමළ ඩයස්පෝරාවෙන් ආධාර?

Image copyright Getty Images
Image caption ආවා කල්ලිය කාගේද?විවිධ මත පළවෙයි

යාපනයේ පසුගිය දිනවල සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ යයි සැකකෙරෙන 'ආවා' කල්ලියට දෙමළ ඩයස්පෝරාවෙන් ආධාර ලැබෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ත්‍රස්ත මර්දන ඒකකය කොළඹ මහේස්ත්‍රාත් අධිකරනයට අද(16)දන්වා සිටියේය.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ යාපනයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ යයි සැකකෙරෙන දමිළ ජාතික සැකකරුවන් එකොළොස් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුණි.

සැකකරුවන් ඉදිරිපත් කරමින් ත්‍රස්ත මර්දන ඒකකය අධිකරණයට දන්වා සිටියේ ඔවුන් පිළිබඳව තවත් පරීක්ෂණ පැවැත්වෙන බවය.

එම කල්ලියට සම්බන්ධ 'සින්නා' නමැති හිටපු කොටි සාමාජිකයෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරෙමින් ඇතැයි ද ත්‍රස්ත මර්දන ඒකකය පවසයි.

එහෙත් පොලිසිය එල්ල කරන චෝදනා පිළිගත නොහැකි බවයි ඉහත කී සැකකරුවන්ගේ ඥාතීන් කියාසිටින්නේ.

'අපේ දරුවන් 'ආවා' සංවිධානයට සම්බන්ධ නැහැ. ඔවුන් නිර්දෝෂී පුද්ගලයන්. ඔවුන් අත් අඩංගුවට ගැනීම අසාධාරණයි' අධිකරණ භූමියට පැමිණ සිටි ඇතැම් මව්වරු ප්‍රකාශ කළහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති හෙයින් ඔවුන්ට ඇප ලබාදීමට තමන්ට බලයක් නොමැති බවය.

ඒ අනුව සැකකරුවන් නොවැම්බර් 30 වෙනි දිනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.