"අයවැයෙන් පළාත් සභාවලට දුන් ප්‍රතිපාදන මදි"

"අයවැයෙන් පළාත් සභාවලට දුන් ප්‍රතිපාදන මදි"
Image caption මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක

මෙවර අයවැයෙන් පළාත් සභා සඳහා වෙනකොට ඇත්තේ පසුගිය වසරේ ලබා දුන් ප්‍රතිපාදනවලට වඩා 50% කටත් අඩු ප්‍රමාණයක් බව මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක පවසයි.

මහ ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමු වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවය.

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම හෝ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කරමින් බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ වැඩි අවධානයක් යොමු වී ඇති බැවින් මෙවර අයවැයෙන් පළාත් සභා සඳහා 'දෝතින් බෙදා දෙනු ඇතැයි' බලාපොරොත්තු වූ බව මහ ඇමතිවරයා සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

"බලය විමධ්‍යගත කරන්නේ කෙසේද යන කාරණය පිළිබඳ අපි සංවාද සාකච්ඡා විවිධ අවස්ථාවල සිදු කළා. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කමිටුවලට ගොස් බලය විමධ්‍යගත කිරීම පිළිබඳ සාකච්ඡා කළා. බලය කියන එකට ප්‍රධාන කාරණයක් තමයි මුදල්. මුදල් නැතිනම් බලයක් නැහැ," ඔහු සඳහන් කළේය.

පළාත් සභා සඳහා වෙන්කරනු ලැබූ ප්‍රතිපාදන වැය නොකිරීම මත මෙවර අඩු වශයෙන් ප්‍රතිපාදන ලබා දී ඇතැයි යම් අයකුට තර්ක කළ හැකි නමුත් එම ප්‍රතිපාදනවලින් වැඩි කොටසක් වෙන් කරනු ලැබුවේ පසුගිය ජුලි මාසයේ බව මහ ඇමතිවරයා පෙන්වා දෙයි.

ජුලි මාසයේ ප්‍රතිපාදන වෙනකොට අදාළ නිර්නායකයන් සහ නීතිරීතිවලට අනුකූලව සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කිරීමට යෑමේදී ඇස්තමේන්තු සැකසීමට සහ ටෙන්ඩර් කැඳවීම සඳහා පමණක් දීර්ඝ කාලයක් ගතවන බවත් මහ ඇමතිවරයා සඳහන් කළේය.

"මුදල් අඩුවෙන් දුන්නා කියලා මේ යන ගමන අඩු කිරීමට හෝ රජයේ ප්‍රතිපත්ති වෙනස් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. මුදල් ප්‍රතිපාදන වැඩි කරන ක්‍රමවේදයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අයවැය පරතරය බැලූ විට සල්ලි ඉල්ලන්න දුක හිතෙනවා," ඔහු පැවසීය.

කෙසේනමුත් පාසල්, රෝහල් සහ මාර්ග ඇතුළු මහජන සේවා රැසක් පළාත් සභා යටතේ පවතින බැවින් මධ්‍යම රජයෙන් හෝ ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර