අයවැය විවාදය මැද 'බැඳුම්කරය' මතු වෙයි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අයවැය විවාදය මැද 'බැඳුම්කරය' මතු වෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයේ කටයුතු කරනතාක් මතභේදයට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කළ නොහැකි බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා චෝදනා කළේ අගමැතිවරයා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු ලෙස සැලකිය හැකි බවය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙත දිගින් දිගටම චෝදනා එල්ල වෙද්දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඔහු රැකීමේ උත්සාහයක නිරත වූ බව කියා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අගමැතිවරයා එම ධුරයෙන් ඉවත් කළ යුතු බව පැවසීය.

මහ බැංකු ගනුදෙනුව සම්බන්ධයෙන් තමා සතු සාක්ෂි ඉදිරිපත් කළත් අගමැතිවරයාට එරෙහිව පරීක්ෂණයක් නොපැවැත්වූ බවත් නානායක්කාර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"කොප් කමිටුව අන්තිමට අර්ජුන් මහේන්ද්‍රන් ළඟ නැවතුනා. අද ජනතා විමුක්ති පෙරමුණේ සමහරුන්ට අගමැතිතුමාගේ නම කියා ගන්න බැහැ." ඔහු වැඩිදුරටත් පැවසීය.

අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැතිවරයාට එල්ල කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු භාර නියෝජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා කියා සිටියේ කොප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව විසින් නිකුත් කරන ලද වාර්තාවේ අගමැතිවරයාගේ නමක් සඳහන් නොවන බවය.

"කවුරුහරි වරදකරුවෙක් වෙන්න නම් අධිකරණයට යා යුතුයි. මම දන්නේ නැහැ එතුමා අගමැතිතුමාගේ නම කියන්නේ මොන පරීක්ෂණයක් කරලද කියලා. එතුමා කොප් කමිටුවට ගිහින් පරීක්ෂණ සිදු කළාද?, කොප් කමිටුව කියන්නේ නැතිනම් එතුමා කොහොමද එහෙම කියන්නේ," නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රශ්න කළේය.