බැසිල් රාජපක්ෂ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහින්ද අලුත් පක්‍ෂයේ නායකත්වයට බලෙන් හෝ ගන්නවා -බැසිල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 'බලෙන් හෝ' පත් කරගන්නා බව බැසිල් රාජපක්‍ෂ පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂය විසින් කැඳවනු ලැබූ ප්‍රථම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

"අපේ පරමාදර්ශය එතුමා, අපේ දර්ශනය එතුමා. මහින්ද රාජපක්‍ෂ තමයි අපේ හදවතේ නායකයා. එතුමාව ඉතිං අපි පිලිගන්නවා. බලෙන් හරි දාගන්නවා." බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මෛත්‍රි

කෙසේ නමුත් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු බව හිටපු ජනාධිපතිවරයා කිහිපවතාවක්ම අවධාරණය කර ඇති බව මාධ්‍යවේදීන් සිහිපත් කළවිට බැසිල් රාජපක්ෂ ලබා දුන්නේ මෙවැනි ප්‍රතිචාරයකි.

"එහෙම තමයි, මෛත්‍රිපාල සිරිසේන මහත්මයත් අපේ ගමේදී පත්වීම් එක්දහස් ගණනක් දීල දොළහමාරටත් කිව්වේ මම පක්‍ෂයෙන් යන්නෙ නැහැ කියල."

'ඇඟේ මාළු කන්න වෙලා'

මේ අතර මත්ස්‍ය අපනයනය සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා තිබු තහනම ඉවත්කර ගැනීම පිළිබඳව බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයා විසින් මෑතකදී එල්ල කරනු ලැබූ විවේචනය ගැනත් මාධ්‍යවේදීහු මෙහිදී ප්‍රශ්න කළහ.

ඊට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ කියා සිටියේ "මුලින් අපේ රටේ ඉන්න පාරිභෝගිකයාට මාළු කෑල්ලක් කන්න තියෙන්න එපායැ. අද අපේ කට්ටියට ඇඟේ මාළු කන්න වෙලා තියෙන්නේ." යනුවෙනි.

'වැරදි සිදුවුනා'

රාජපක්‍ෂ පාලන සමයේදී ධීවරයන්ට වෙඩි තැබීමේ සිද්ධියක් ද වාර්තා වූ බව මාධ්‍යවේදීන් පෙන්වා දුන්විට, පසුගිය ආණ්ඩුව අතින් වැරදි සිදුවූ බව ඇමතිවරයා පිළිගත්තේය.

"අපේ අතින්, අපේ ආණ්ඩුවෙන් වැරදි වෙච්ච හන්ද තමයි අපිව පරාජය කරන්න ජනතාව තීන්දු කළේ. අපි ඒ ජනතාවගේ තීන්දුවට හිස නමනවා. ඒ වැරදි නිවැරදි කරගෙන අපි ගමන් කරන්න යන ගමනක්." යැයි ඔහු පැවසීය.