යාපනය සිසු මරණ: සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

  • 2016 නොවැම්බර් 18

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් දෙදෙනෙකු වෙඩි වැදී මිය යාමේ සිද්ධියට අදාළ සැකකාර පොලිස් නිලධාරීන් පස්දෙනා ලබන මස 02 වෙනිදා තෙක් යළි රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස අධිකරණය නියෝග කළේය.

සැකකරුවන් අද (නොවැ.18) යාපනය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් ඇප ඉල්ලීමක් කෙරුණ ද ඇප දිය හැකි සාධාරණ හේතුවක් එම ඉල්ලීමෙහි නොවන බව දිසා විනිසුරු එස්. සදීස්වරන් පෙන්වා දුණි.

සිද්ධිය සියැසින් දුටුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා මීට පෙර නියෝග කළ අතර පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එසේ සිද්ධිය දුටුවන් නොමැති බවය.

කෙසේ වුවද සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් දෙසැම්බර් මස 02 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය.

සැකකාර පොලිස් නිලධාරීන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද තෙවෙනි අවස්ථාව මෙය වන අතර ඔවුන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගෙනෙනු ලැබිණි.