අධිකරණ ඇමතිගේ ප්‍රකාශයට ශ්‍රී ලංකා මුස්ලිම් සභාවේ විරෝධය

Image copyright MCSL
Image caption අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිලිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසද ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලය රජයෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් පවුල් හතරකට සම්බන්ධ මුස්ලිම් ජාතිකයන් තිස්දෙදෙනකු සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට සම්බන්ධවී සිටින බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් සභාව (MCSL) විරෝධය පළ කරයි.

අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ 'උගත් සහ වැදගත්' ලෙසින් සමාජයේ සම්මත මුස්ලිම් පවුල්වල සාමාජිකයන් මෙසේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට සම්බන්ධවී ඇති බව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විදේශ බුද්ධි අංශ මගින් රජයට දැනුම් දී ඇති බවයි.

එසේම මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වලට දේශන පැවැත්වීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණෙන ඇතැම් පුද්ගලයන් මුස්ලිම් දරුවන්ගේ 'මනස විකෘති කරන බව' හෙළි වී ඇති බවද අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

ඇමතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරන ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ සභාපති එන් එම් අමීන් පවසන්නේ අමාත්‍යවරයා ඉදිරිපත් කරන්නේ මීට වසරකට පෙර පළවූ මාධ්‍ය වාර්තාවකට අදාළ කරුණු බවය.

එක් පවුලකට අයත් සාමාජිකයන් පිරිසක් සිරියාවේ යුද්ධයෙන් පීඩාවට පත්වී සිටින්නන්ට මානවීය ආධාර ලබාදීම පිණිස එහි ගොස් සිටින්නේයැයි විශ්වාස කෙරෙන බව දක්වා ඇති ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය ජාතිවාදීන්ට අනුබල ලබාදෙන්නක් බවය.

අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිලිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසද ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලය රජයෙන් ඉල්ලා සිටී.

පොලිස්පතිගෙන් ඉල්ලීමක්

මේ අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙන් සුළු ජාතීන්ට හා ආගම් වලට එරෙහිව සිදුකෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා වලට එරෙහිව නීතිමය පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත සන්දේශයක් ඉදිරිපත්කර ඇත.

පුරවැසි සහ බහුජන සංවිධාන වල සාමාජිකයන්, ශ්‍රී ලාංකික සමාජයේ නමක් දිනූ පුද්ගලයන් සහ සියළු ජාතීන්ට සහ ආගම් වලට අයත් සමාජ ක්‍රියාධරයන් ඇතුළත් තුන්සිය හැටහත් දෙනෙකුගේ අත්සනින් යුත්වයි එම සංදේශය ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ.

ජාතිවාදී සහ ආගම්වාදී කණ්ඩායම්හි ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳව අවස්ථා ගණනාවකදී බලධාරීන්ට දැනුම් දී තිබුණද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන භික්ෂූන් වහන්සේලාට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගෙන නැතිබව ඉහතකී සංදේශයට අත්සන් තබන ක්‍රියාධරයෝ පෙන්වා දෙති.

පොලීසියේ වගකීම වන්නේ 'සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම' බවද ඒ මගින් අවධාරණය කර ඇත.

2016 නොවැම්බර් 15 වැනි දින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් කරන ලද ද්වේෂ සහගත ප්‍රකාශයක් සහ මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමංගල හිමියන් විසින් සිදුකළ නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉහත කී සංදේශය මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කෙරෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර