විගණන පනත අතුරුදහන් වෙලා - ගම්මන්පිළ

  • 2016 නොවැම්බර් 20
Image copyright udaya gammanpila
Image caption විගණන පනත් කෙටුම්පත අවසාන වරට දැක ඇත්තේ චරිත රත්වත්තේ බවත් ඉන්පසු එය අතුරුදහන් වී ඇති බවත් ඔහු පවසයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදහස් පහළොව වසරේ ජනතාව හමුවේ තැබූ දින සියය වැඩසටහන මගින් ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ගෙන එන බවට පොරොන්දු වූ නමුත් මේ දක්වා එය සිදුවී නැති බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ ගම්මන්පිල මන්ත්රීවරයා වැඩිදුරටත් කියා සිටියේ විගණන පනත අගමැති උපදේශක චරිත රත්වත්තේ අතට පත්වීමෙන් පසු අතුරුදහන් වී ඇති බවය.

යහපාලනය

"යහපාලනය කියන ක්‍රියාවලියේ අතිශයින්ම වැදගත් දෙයක් තමයි විගණනය. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා තමන්ගේ දින සීයේ වැඩසටහනේ ඉතාම ප්‍රමුඛතා පදනමින් 'ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි' කියල ඇතුලත් කළේ. දිනසීය නොවෙයි දින පන්සීය ගතවෙලත් තවම විගණන පනත මේ ගරු සභාවට ඇවිල්ල නැහැ" යනුවෙන් ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හිතාමතාම වළක්වා ඇති බවද පැවසුවේය.

දෙදහස් පහළොව වසරේ දෙසැම්බර් මාසයේ ජාතික විගණන කොමිසම පත්කර කොමසාරිස් වරුන්ට සහ නිලධාරීන්ට වැටුප් ගෙවමින් කාර්යාල කාර්යමණ්ඩල නඩත්තු කරමින් සිටියද ඔවුන්ට වැඩකිරීම සඳහා බලය ලබාදෙන විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට අපොහොසත් වී ඇති බව ඔහු පෙන්වාදුන්නේය.

චරිත රත්වත්තේ

"අපට තියන තොරතුරු අනුව ඒක මේ අවුරුද්දෙ මැයි මාසෙ අගමැති උපදේශක චරිත රත්වත්තේ මැතිතුමාට බාරවෙනව" යනුවෙන් පැවසූ ගම්මන්පිළ මන්ත්‍රීවරයා විගණන පනත් කෙටුම්පත අවසාන වරට දැක ඇත්තේ චරිත රත්වත්තේ බවත් ඉන්පසු එය අතුරුදහන් වී ඇති බවත් ප්‍රකාශ කළේය.

විගණන පනත පිලිබඳ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශකළේ මුදල් විගණනයට රජය බියක් දක්වන බවය.

'විගණනයට බයයි'

"2003 ඉඳන් සාකච්ඡාවට බඳුන් වෙමින් තියෙන්නෙ මේ පනත.තමුන්නාසේලා රාජ්‍ය මුදල් විගණනයට බයයි" යනුවෙන් ඔහු පැවසීය.

විගණන පනත පිලිබඳ ප්‍රකාශවලට පිළිතුරු සපයමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ ව්‍යවස්ථාවෙන් විගණකාධිපතිට බලයක් ලබාදී නැතිවීම හේතුවෙන් විගණන පනත ගෙන ඒමට බාධා එල්ලවී ඇති බවය.

"විගණකාධිපති කෙටුම්පත අපියි ඇතිකළේ.දැන් අලුත් කොන්දේසියක් දාල තියනව, අධිභාරය ගැන, දැන් මේ ඉල්ලන්නෙ විධායක බලතල.විගණකාධිපතිට කිසිම බලයක් දීල නැහැ ව්‍යවස්ථාවෙන්.ඒ බලය දීල තියෙන්නෙ පාර්ලිමේන්තුවෙන්. ඉතිං පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරගන්න බැහැ ව්‍යවස්ථාවට විරුද්ධ" යනුවෙන් ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්