විමල් කුමාර ද කොස්තා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

“හමුවෙන හැම කෙනෙක්ම කොස්තගේ යාළුවෙක්”

"තොරණ හංදියේ ඉඳල පට්ටිය හංදියට පේන දුර. නමුත් ඔය පේන දුර ඇවිදගෙන යන්න කොස්තට පැය බාගෙකට වැඩිය ගතවෙනවා. හේතුව මොකක්ද? මග දිගට කොස්තට හමුවෙන හැම කෙනෙක්ම කොස්තගේ යාළුවෙක්. "

"කොස්ත ඒ හැම කෙනෙක් ළඟම පුද ලබනවා කියල අපි කියන්නේ. වේල් කරත්තේ වගේ. හැම කෙනෙක් එක්කම කතා බහ කරගෙන තමයි එන්නේ."

දිවි රඟ මඬලින් සදහටම බැස ගිය ප්‍රවීණ රංගනවේදී විමල් කුමාරද කොස්තාගේ අතීතය සිහිපත් කරමින් බීබීසී සිංහල සේවයට කතා කළේ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි.

සමකාලීනයන් ලෙස වේදිකාවට ගොඩවූ ඩබ්ලිව් ජයසිරිට සිය මිතුරා හමුවූ පළමු දිනය ගැනද බීබීසී සංදේශයට හෙළි කළේය.

  • හඬ පටයට ඉහතින් සවන්දිය හැකියි.

වේදිකාවෙන් සිනමාවට අවතීර්ණ වූ විමල් කුමාර ද කොස්තා සමඟ රිදී තිරයේදී එක්වුණු ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන කියා සිටියේ, සමකාලීනයන් අතරින් 'තමන්ටම ආවේනික වූ අමුතුම ආකාරයකින්' කැපී පෙනුණු සුන්දර මිනිසෙකු සිනමාවට අහිමි වූ බවය.

Image copyright Nuwan Nayanajith Kumara
Image caption ප්‍රවීණ චිත්‍රපට විචාරක ආචාර්ය නුවන් නයනජිත් කුමාර

හැටේ දශකයෙන් පසුව ඇති වූ විකල්ප සිනමාව විසින් ඉල්ලා සිටිනු ලැබූ චරිතාංග නළුවෙකුගේ හිඩැස පුරවමින් විමල් කුමාර ද කොස්තා සිනමාවට අවතීර්ණ වූ බව ප්‍රවීණ චිත්‍රපට විචාරක ආචාර්ය නුවන් නයනජිත් කුමාර බීබීසීයට පැවසීය.

වාචික අභිනයකින් තොර රංගනයක යෙදිය හැකි ප්‍රතිභාපූර්ණ රංගනවේදියෙකු වූ ඔහුට අභිරූපණ රඟ කලාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමේ ගෞරවය හිමි වන බව ආචාර්ය නුවන් නයනජිත් කුමාර ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් එවැනි කුසලතා පූර්ණ රංගධරයෙකුගෙන් ලාංකේය සිනමාකරුවා ප්‍රමාණවත් 'වැඩක් නොගත්' බව ඔහු තවදුරටත් පැවසීය.